සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………

ඔබ පසුගිය සෙනසුරාදා (14) පුවත් නැරඹුවෙහිද ? සඳ පිළිබඳව යම් පුවතක් ඔබ දුටුවෙහිද ? එදින බොහෝ ජනමාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් වූයේ එක්සත් ජනපදයේ, ජාතික අභ්‍යවකාශ විද්‍යා හා අජටාකාශ මණ්ඩලය (නාසා/NASA) විසින් චන්ද්‍රයා මතුපිට ජලය සොයාගත් බවයි. CNN, BBC වැනි බටහිර මාධ්‍යයන්හට මෙය සුවිසාල පුවතක් විය. එබැවින් බටහිර ජනමාධ්‍යවල කටු ලෙවකන අපේ රටේ මාධ්‍යයන්හට මෙය පුවතක් වීම අරුමයක් නොවේ.

නමුත් මේ සියල්ලන්හට අමතකවූ කරුණක් ඇත. එනම්, පසුගිය සැප්තැම්බර් 24 වන දින, ඉන්දීය විද්‍යාඥයින් සඳමත ජලය පළමුවරට සොයාගත් බවයි. 2008 වසරේ නොවැම්බර් මස 14වන දින සඳ මතුපිටට බට චන්ද්‍රයාන් යානය මගින් මෙම සොයාගැනීම කිරීමට ඉන්දියානුවන් සමත්විය. එහිදී කියැවුනේ චන්ද්‍රයාමත තුනී ජල තට්ටුවක් ඇතිබවයි. නමුත්, මෙම පුවත සඳහා ලැබුනේ ඉතාමත් අඩු ප්‍රසිද්ධියකි.

තත්වය මෙසේ වුවද, පසුගිය 14 දින (චන්ද්‍රයාන් සඳ මතුපිටට ගොස් වසරක් පිරෙන දින ) බටහිර මාධ්‍යයන් මවා පෑමට උත්සාහ කළේ කුමක්ද ? ඇමරිකානුවෙක් සඳමතුපිට පා තබා 40 වසරක් ඉක්මගියද, ඔවුන්ට පෙර ඉන්දියාව පළමුවෙන් සඳමත ජලය සොයාගනීම ඔවුන්ට සිදුවූ අවමානයක් ලෙස ඔවුන් දකීද ? මේ පිළිබඳව ඇමරිකානු විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් කුඩා ප්‍රමාණයක් නොව, විශාල ප්‍රමාණයක් ජලය සොයාගත් බවයි. කුඩා ප්‍රමාණයක් වේවා විශාල ප්‍රමාණයක් වේවා, පළමුව සඳ මත ජලය සොයාගත්තේ ඉන්දියාවබව ඇමරිකානුවන්ට සැඟවිය හැකිද ?

  • මේ පිළිබඳව මා නොදන්නා යම් කරුණක් ඇත්නම් පැවසීමට කාරුණික වන්න.
Advertisements

ප්‍රතිචාර 8

Filed under ජාත්‍යන්තර, විද්‍යාව

අතට ගත් පසු කටට දා ගැනීම

DSC00444

2008 වසරේදී මා උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමවර පෙනී සිටි අතර, මැවිසුරු පීඨයට (Engineering Faculty) සුදුසුකම් ලැබීමට මම සුදුසුකම් නොලැබීමි. පවුලේ ඥාතීහු හා ගුරුවරු මා දෙවනවර ද උසස් පෙළට පෙනීසිටී යයි සිතුවද, මාහට මගේම වූ අරමුණක් විය. මාගේ අරමුණ වූයේ භෞතීය විද්‍යා පාථමාලාව හැදෑරීමයි.

කැලණිය සරසවියට මා ඇතුල්වූ දිනය පිළිබදව මම ලිවූ ලිපිය ඔබලාට මතක ඇතැයි සිතමි. මෙලෙස කැලණිය සරසවියට මා පැමිණියද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මා තෝරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාවටය. ජ’පුර මා සති 3ක් ( හැඩගැස්වීමේ වැඩසටහන සති 2ක් හා දේශන සතියක් ) රැදී සිටි අතර, එය ඉතාමත් මිහිරි සමයක් විය. නව මිතුරන් රැසක් සමග ඉන්දරේ අයියාවද එහිදී මට මුණ ගැසීමට හැකිවිය. facebookවලට පිං සිදුවීමට ඔවුන් සමග තවමත් සබදතා පැවැත්වීමට මාහට හැකිවී තිබේ. ජ’පුර විද්‍යා පීඨයේදීද මාගේ අරමුණකරා ලඟා වියහැකිව තිබුණද, මම දකින අන්දමට කැලණියේදී වඩා පුළුල්ලෙස මාගේ ප්‍රියතම විෂයන් හැදෑරීමේ හැකියාවක් ඇත. එබැවින් මම අභියාචනයක් මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාව ලබාගතිමි.

කැලණියේ සති 4ක් වූ හැඩගැස්වීමේ පාඨමාලාවේ, අවසාන සති 3 වෙන්කර තිබූයේ සිංහල, ඉංග්‍රීසි හා ආචාර ධර්ම යන විෂයන් ඉගෙන ගැනීමටයි. මෙහිදී, අප බොහෝ තෘප්තියක් ලැබූයේ ඉංග්‍රීසි හැදෑරීමේදීය. එහි තිබූ විවිධ ක්‍රියාකාරකම් මගින් අප තුළ සැගව තිබූ දක්ෂතා හදුනාගැනීම, නිර්මාණශීලීත්වය වර්ධනයකර ගැනීමටද අපට අවස්ථාවන් පෑදින. නවක විද්‍යාර්ථයින් සදහා සිංහල හා ආචාර ධර්ම ඉගැන්වීම පිළිබදව සිංහලයෙකුලෙස මා කැමතිවුවද, විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස බැලීමේදී එහි යම්යම් අඩුපාඩු දැකියහැකිවේ.

මෙහිදී තවමත් මාගේ සිතේ වේදනාදෙන සිදුවීමක් ඔබ හමුවේ පැවසීම යුක්ති යුක්ත යැයි සිතමි. ඉංග්‍රීසි විෂයෙහි අපට ලැබුණු එක් ක්‍රියාකරකමක් වූයේ ලෝකයේ මානව හිමිකම් කඩවන අවස්ථාවක් පිළිබදව එක් එක් කණ්ඩායම් දැන්වීමක් සෑදීමටයි. මෙහිදී මා තෝරාගනු ලැබූයේ ඉරාකයේ ඇමරිකන් හමුදාවන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීමයි. මෙහිදී “මා තෝරාගනු ලැබූවේ” යනුවෙන් පැවසීමේදී ඔබ තුළ විමතියක් ඇතිවූයේනම් ඒ පිළිබදව මම පුදුම නොවෙමි. මන්ද, මෙය කණ්ඩායම් ක්‍රියාකාරකමකි.නමුත්, අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සිටියේ මා ඇතුළුව පිරිමි ළමුන් දෙදෙනෙකු පමණි. අප දෙදෙනා තීරණයක් ගැනීම, කණ්ඩායම තීරණයක් ගැනීම හා සමානවිය. මන්ද, ගැහැණු ළමෝ ප්‍රවෘත්ති නොබලති, නොඅසති. රටේ තොටේ සිදුවන කිසිවක් ඔවූහු නොදනිති. කෙසේහෝ මේ ක්‍රියාකාරකම සදහා අපට හිමිවූයේ එක් දිනක් පමණක් බැවින් එදින දිවා අහරද අමතක කොට මා හා අනෙක් මිතුරා Internet Cafe 1ක් වෙත බඩගෑවේය. අප දෙදෙනා අපට අවශ්‍ය තොරතුරු ඉතිරිකරගෙන අන්සියල්ල අපි ඔවුන් වෙත ලබා දුන්නෙමු. අප සතුවූ තොරතුරු පිළිවෙළකට සකස් කොට, මා එක් වාක්‍යයක් පැවසූපසු, අනෙක් වාක්‍යය මිතුරාද කියන ආකාරයට පිළිවෙලකට සැකසීමි. පිංතූරද පිළිවෙලකට සැකසීමි. තේමා වාදන සංගීත ඛණ්ඩයක්ද සොයාගතිමි. මට අවශ්‍යයවනුයේ එතෙක් මෙතෙක් බිහිවූ හොදමදේවල් කිරීමටයි. පසුදින සරසවියට ගොස් බැලීමේදී, දක්නට වූයේ අපදුන් මුද්‍රිත පිටපත් (Print Out), අපගේ සාමාජිකාවන් අත තවමත් එලෙසම තිබෙන අයුරුය. ඇතමුන් වාක්‍යය සාදමින් සිටී. ඇතමුන් මුද්‍රිත පිටපත් අත තබාගෙන මාසයෙන් මාසයේ වසර හයක මියගිය ගණන් කියවීය. මම මොවුන්ට එසේ නොකරනමෙන් සිංහලෙන් ඉල්ලා සිටියද ඵලක්වූයේ නැත. අවසානයේදී මිනිත්තු 5 -10 අතර වියයුතු දැන්වීම, මිනිත්තු 20කට කිට්ටු විය. ඔවුන් ලබාදුන් එකම නිර්මාණශීලී අදහස වූයේ, අවසානයේ මයිකල් ජැක්සන්ගේ Heal the World ගීතය ගැයීමයි. මේ වර්තමාන ගැහැණු ළමයින්ගේ බුද්ධිය හා නිර්මාණශීලීත්වයයි.

සිංහල විෂයේදී අප ලත් අත්දැකීම් පිළිබදව පැවසීමේදී මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාරයන් අමතක කළ නොහැක. එතුමාගේ තර්කානුකූල කරුණු දැන්වීම, සිංහල විෂයය අතිරේක විෂයක් ලෙස හැදෑරීමට මා තුළ තිබූ ආශාව වැඩිකිරීමට සමත්විය. තවද, එක් මහාචාර්ය වරයෙක් සාහිත්‍යය විචාරයක් කිරීමේදී, ඔහුට යම් කරුණක් පැවසීම මගහැරුණි. මද වේලාවකින් ඔහුටම එය වැටහී ” මට අරක අමතක වුනා ” යනුවෙන් පැවසීය. මහාචාර්යතුමාට අමතක වූ බව අපට අමතකය. ඒ තරමට අපි අවධානයෙන් සිටියෙමු.

කෙසේ වුවද, දැන් හැඩගැස්වීම් කාලය අවසානයි. ලබන සදුදා සිට දේශන ආරම්භවේ. පළමු දේශනය ලෙස ඇත්තේ, 10 ශ්‍රේණියේ සිට මා පෙම්කළ විෂය වූ ඉලෙක්ට්‍රොනික්ස් ය. පළමු සමාසිකය තමා කැමති විෂය පථයකින් හැදෑරිය හැක. අනතුරුව පළමු සමාසිකය අවසාන විභාගයේ ලකුණුමත අප සුදුසුකම් ලබන විෂයයන් තීරණයවේ. එබැවින් මම දැන් මට අවශ්‍යය වූ දෙය අතට ගෙන ඇත, ඇත්තේ කටට දා ගැනීමයි.

ප්‍රතිචාර 6

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්

මම අමන්දි. මගේ මව කුවේටයට ගියේ මට අවුරුදු හතේදි. මට අම්මව යන්තමට මතකයි. අම්මත් එක්ක දවසක් කුරුණෑගල රෝහලෙන් බේත් අරගෙන ආ දවස අද වගේ මට මතකයි. එදා මගෙ මරණය සිද්ධ වෙන්න තිබුණු දවසක් කියලා කීවේ මගේ ආච්චි. එදා අම්මා මාව කුරුණෑගලට අරගෙන ගියේ පයින්ලු. කුරුණෑගල රෝහල ළග ඉදන් අපේ ගෙදරට හරියටම සැතපුම් තිහක් තියෙනවා. අම්ම කොහොමද මාව ඒ තරම් දුරක් පයින් එක්ක ගියේ. මට දැන් අම්ම කරපු ඒ දේ ගැන හිතද්දි ඇති වන්නේ අම්ම ගැන පුදුම ආදරයක්. මම අම්මට කවදාවත් බනින්නේ නෑ. එයා මගෙ පණ බේරුව මගේම අම්මා.

එදා මට හොදටම උණලු. රෝහලෙන් බේත් අරගෙන ගෙදර ආවෙත් පයින්ලු. අපේ ගම දුප්පත් ගමක්. තාර පාරේ ඉදන් සැත්පුම් පහමාරක් තියෙනවා අපේ ගේ ළගට. ඒ පාර ගුරු පාරක්. පාර දිගට පොල්වතු. ඉද හිටලා තමයි ගෙයක් තිබුණේ. රෝහලේ ඉදන් මාව වඩාගෙන අම්ම ඒ ආපු ගමන අම්මට බුදුවෙන්න තරම් ප්‍රමාණවත්. අපිව වැස්සට අහුවුණේ ඒ පොල් රුප්පා මැදදි. ඉහලන්න කුඩයක්වත් අම්මා ළග තිබිලා නෑ. අම්ම අඩ අඩා මාව ගෙදරට ගෙනාවේ රෙද්දක ඔතාගෙනලු. දෙයියෝ මාව බේරුව කියලයි ආච්චි කියන්නේ.

එහෙම මගෙ ජීවිතේ බේරපු අම්ම මාව දාල කුවේටයට ගියේ 1990 වසරේ. මගේ තාත්තා මම පොඩි කාලෙම මිය ගියා. තාත්තගේ රස්සාව වුණේ පොල් කඩන එක. තාත්තා මිය ගියේ පොල් ගහකින් වැටිලා. තාත්තා නැති අඩුව මට නොදැනුනේ තාත්ත කොයි වගේද කියලවත් මම නොදන්න නිසයි. මම ඉපදිලා අවුරුද්දකට පස්සෙයි තාත්තා මැරිලා තියෙන්නේ.

අම්මා රට ගියේ වෙන කරන්න දෙයක් නැති තැනලු. ආච්චි අම්ම තමයි මට හිටපු එකම ඥාතියා.කුවේටයට ගිය අම්මා ඊට පස්සේ මට දකින්න ලැබුණේ නෑ. එයා ඉන්නවද නැද්ද කියලවත් මම දන්නේ නෑ.

අම්මගේ නම වත්සලා රණවීර. රණවීර ආරච්චිගේ වත්සලා තමයි එයාගේ සම්පූර්ණ නම. අම්මාගේ උපන්ගම කොළඹ බොරැල්ලෙ. අම්ම රට ගියාට පස්සේ අවුරුදු තුනක් පමණ ආච්චි අම්මට මුදල් එව්වා. ඒ මුදල්වලින් ආච්චි අම්මා මට ඉගැන්නුවා. පොල් අතු හෙවිලි කරලා තිබුණ ගේ වෙනුවට උළු හෙවිළි කරපු ගෙයක් හදන්නත් ඒ සල්ලි ප්‍රමාණවත් වුණා. අපේ ගෙට කාමර දෙකක් තියෙනවා. කුස්සිය, ආලින්දියට අමතරව ඉස්තෝප්පු කෑල්ලකුත් තිබෙනවා. අම්ම එවපු ටී. වී. එක මේ ලිපිය ලියන මොහොතෙත් මට පේනව. අම්ම මට එවපු ඇදුම් පවා තවමත් මගේ අල්මාරියේ තියෙනව.ඒත් මට ඒ අම්ම දකින්න පින නෑ. 1990 දී කුවේටයට ගිය අම්මා 1993 න් පස්සේ අපිට ලියුමක්වත් එව්වේ නෑ. අනේ අම්මේ ඉන්න තැනකින් ගෙදර එන්න. අම්මාට පුදුම හිතෙන දෙයක් කියන්න මම මග බලාගෙන ඉන්නේ. අම්මට මතකද එදා වැස්සෙ තෙමීගෙන කුරුණෑගල රෝහලේ ඉදන් පයින්ම මාව වඩාගෙන ගෙදර ආපු හැටි.

එදා මගෙ උණ වැඩිවෙලා, සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවෙලා මම විදපු වේදනාව දැකලා අම්ම මටත් වැඩිය හයියෙන් අඩපු ඒ දවස මතකද ? මගේ රත්තරං අම්මේ. අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මට විශ්වාසයි. අම්මට මගේ අතින් බේත් ටිකක් පොවන්න මම කොච්චර ආසද ? අම්මගෙ ප්‍රෙෂර් එක බලන්න, අම්මට උණ ගැනුනම බේත් දෙන්න. මම කොච්චර ආශාවෙන්ද ඉන්නේ අම්මේ.

එදා සැතපුම් තිහක් ගෙවාගෙන පයින්ම කුරුණෑගල රෝහලට උස්සගෙන ආපු ඒ දුප්පත් කෙල්ල අද දොස්තරවරියක් කියලා අම්ම දන්නවද ? ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්. අම්ම දන්නවද අම්මේ, දුප්පත් දරුවෝ හොය හොයා ඒ අයට බේත් දෙනවා කියලා. මම දුප්පත් අයගෙන් සල්ලි ගන්නේ නෑ. අම්ම, තාත්තා නැති දරුවෝ  වෙනුවෙන් මම මගේ සේසතම වුණත් වැය කරනවා. අනේ අම්මේ ඔය කුවේටයේ හිටියා ඇති. ඉන්න තැනකින් අම්මගෙ දොස්තර දුව බලන්න එන්න. අම්මා ඔය රටේ බැල මෙහෙවර කළා ඇති.ආච්චියි මමයි දැන් ඉන්නේ කොළඹ. අපේ පරණ ගෙදර එහෙමම තියෙනවා. ඒ ගෙදර අද ඉන්නේ අපි වගේම දුප්පත් පවුලක්. ඒ පවුලෙත් දුවක් ඉන්නවා. එයාලට සලකන්නේ මමයි. අම්මට ඒ ගෙදරට ඇවිත් මාව හොයා ගන්න පුළුවන්.

මේ ලිපිය පත්තරේ පළ වුණොත් මගෙ අම්ම මේක දකීවි කියලා මට විශ්වාසයි. කුවේටයට ගිය අම්මගේ පින්තූරයක්වත් මගෙ ළග නෑ. ඒ රටේ කොහේ ඉන්නවද කියලා දන්නෙත් නෑ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ ගැන විමසන්න කිසිම ලියකියවිල්ලක් නෑ. මගෙ රත්තරං අම්මේ, මාව බලන්න ලංකාවට එන්න.

මේ අම්මගෙ
සෙනෙහස ඉල්ලන අමන්දි දුව.

ඉහතින් දක්වා ඇත්තේ අද දින ( 25 – 10 – 2009 ) දිවයින මැද පෙරදිග අතිරේකයේ පළවූ ලිපියකි. මෙය මෙරට ඇති මෙවන් කථා අතර තවත් එක් කථාවක් පමණයි. වර්ථමානයේදී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වනුයේ විදේශ සේවයයි. සැබැවින්ම නම්, මෙරට සියලු පුරවැසියන් පිටරටින් ගෙන්වා කන පාන් පෙත්තක් ගානේ මොවුන්ට ණයය. නමුත්, මෙලෙස කාන්තාවන් විදේශ සේවා සදහා යැවීම මා අනුමත නොකරයි. ඉහත සිදුවීම එක් විශේෂ අවස්ථාවකි. අමන්දි ළග දෙමාපියන් නොසිටියද, මව එවූ මුදල් නිසිලෙස කළමණාකරණය කරමින් මැයට හොද අධ්‍යාපනයක් ලබාදීමට මැයගේ ආච්චි සමත්විය.නමුත් බොහෝවිට සිදුවන්නේ, මෙරටට එවන මුදල් යමෙකුගේ බේබදුකමට, සූදුවට ආදීලෙස නැතිනාස්තිවීමයි. අවසානයේදී දරුවන්ට මවගේ සෙනෙහස අහිමිකර ඔබ විදේශගත වූවාට ලැබූ දෙයක් නැතිවියහැක. ඇතැම්විට පවුල් ජීවිතයද විසිරීයෑහැක.

මෙහිදී තවත් එක් සිදුවීමක් මාගේ මතකයට පැමිණේ. මාගේ මිතුරෙකුගේ මවත්, පියාත් දෙදෙනාම සිටින්නේ විදේශගතවයි. ඔහුව රැකබලා ගනු ලැබුවේ ඔහුගේ මිත්තණියයි. ඔහු කුඩා කළ සිටම තම මිත්තණියට අමතනු ලබන්නේ ” හොද අම්මා ” යනුවෙන්ය. ඔව්, ඔහු සිටින්නේ තම මව සමග කෝපයකින්.

ප්‍රතිචාර 4

Filed under සංවේදී

මග මරුවෝ !

මේ පවසන්නට යන්නේ ඊයේ දින සරසවිය නිමවී මා නිවස බලා පැමිනෙණ අතර මගදී සිදු වූ සිදුවීමකි. මෙදින අපහට සරසවි අනුගත කිරීමේ වැඩසටහනෙහි, සංගීත වැඩසටහනක් ප.ව. 4.30 ට නියමිතව තිබුණද, මා එයට සහභාගීනොවී පැමිණියේ නිවසට යාම ප්‍රමාදවන බැවිනි. ඉතින් මා විශ්වවිද්‍යාලය අසලින් කුරුණෑගල පුද්ගලික බස් රථයකට ගොඩවූ අතර, එදින සිකුරාදාවක් වූයෙන් මා හට යාමට වූයේ සිටගෙනය.

ටික දුරක් යනවිට සුපුරුදු පරිදි බස් රථය, වෙනත් බස් රථ සමග රේස් යාමට පටන්ගන්නා ලදි. එක්වරම ඉදිරියෙන් ගමන්ගත් බස් රථය තිරිංග යෙදීය. එයට පිටුපසින් පැමිණි මා ගමන්ගත් බසයේ රියැදුරාට එක්වරම බසය නතර කරගත නොහැකි විය. “දඩස්” හඩක් ඇසුනි. මා ගිය බසයේ වම්පස පැති කණ්ණාඩිය පාර මැදය. තම ගමන පමාවීම පිළිබදව මගීන් කෝපයෙන් පුපුරයි. කෙසේ හෝ කොන්දොස්තරවරු දෙදෙනා බසයේ අයිතිකරුවන්ට දුරකථන ඇමතුම්දී, විනාඩි 10 කට අඩු කාලයක් තුළ ගැටලුව සමථයකට පත්කරගැනීමට සමත්විය. වැඩිවේලාවක් යාමට මත්තෙන් “ඔන්ද ස්පොට් අතට සල්ලි” රක්ෂණයෙන් පැමිණ අනෙක් බසයේ ඡායාරූප ගත්තේය.

නැවතත් ගමන ආරම්භවිය. විනාඩි 40 ගතවූයේනැත. මා ගමන්ගත් බස් රථය පසුකිරීමට උත්සාහකළ තවත් බස් රථයක්, මා ගමන්ගත් බසයේ දකුණුපස පැති කණ්ණාඩිය කඩාගෙනගොස් නතරවිය. දැන් බසයේ පැති කණ්ණාඩි කිසිවක් නැත. බොහෝමයක් මගීන් මෙවරද මෙය දෙස දුටුවේ  කෝපයකිනි. නමුත්, මා ඇතුළු කිහිපදෙනෙකුටනම් එවෙලේ නැගුණු සිනහව නතර කරගත නොහැකිවිය. (තවමත් මතක්වන විට බඩපැලෙන්න සිනාවියහැක.) කෙසේ වුවද මෙවරත්, ගැටළුව ගොඩින් බේරා ගැනීමට කොන්දොස්තරවරුන් සමත්විය.

ප්‍රතිචාර 4

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

පෙර පාසැලක් ලෙස දුටු සරසවිය

මාතෘකාව දුටු විගස ඔබ වික්ෂිප්ත වූවානම් එය අරුමයක් නොවේ. මා මෙහි පවසන්නට යන්නේ මා අත්විදි සිදුවීමකි. මා කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකි. අනෙකුත් සරසවීන් මීට මාස 2 කට පමණ පෙර ආරම්භ වුවද, යම් හේතුවක්මත අපට ආරම්භ වූයේ පසුගිය 19 වන සදු දිනයි. මෙදින අප සමග වාණිජ හා කළමනාකරණ පීඨයේ නවකයන්ද කැදවනු ලැබීය. සියල්ලන්වම ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් පිළිගත් අතර ඔවුන් අපහට සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.

අනතුරුව සමාරම්භක නිල උත්සවය පැවැත්වූයේ, ශ්‍රී ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාවේදීය. මා මෙම සටහන තැබීමට මූලිකවූ සිදුවීම සිදුවූයේ මෙහිදීය. පෙ.ව. 9 ට ආරම්භ වියයුතු උත්සවයට මා ගියේ ආරම්භයට ඔන්න මෙන්න තිබියදීය. එබැවින් මාහට අසුන් ගැනීමට සිදුවූයේ, සිසුන් සදහා වෙන්කර තිබූ අසුන්වල පිටුපසට වන්නටය. මේ වනවිටත් ඇතැම් සිසුන් පැමිණෙමින් සිටියි. දෙමාපියන් හා සිසුන් ශාලාවට ඇතුල් කරවන්නේ වෙනවෙනම බැවින් දෙමාපියන් කොටසක් ශාලාවෙන් පිටත පෝලිමක සිටී. උත්සවය ආරම්භකිරීම සදහා නිවේදකයා සභාව ඇමතීම ආරම්භ කරනවාත් සමගම, ප්ලාස්ටික් පුටු පෙරලෙන හඩක් නැගුණි.එක් වරම පිටුපස හැරී බැලූ අපහට දක්නට ලැබුනේ ආරක්ෂක නිලධරුවන්ද පෙරලා ශාලාවට පිවිසෙන දෙමාපියන්ය. ඔවුන් ශාලාවට පැමිණ සිසුන් සදහා වෙන්කර තිබූ ආසනවලද (මා සිටි පෙළට පසුපස පෙළ) අසුන්ගත් අතර, ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔවුන්හට පැවසූවේ, “දැං තව ළමයි ආවොත් ඔයාලට ඔතනින් යන්න වෙනවා” යනුවෙනි. වැඩිවේලාවක් ගතවූවේ නැත. ගැහැණු ළමුන් පෝලිමක් පැමිණ ඔවුන් අසල සිට ගන්නාලදි.

අනතුරුව, සාමාන්‍යලෙස උත්සවය පැවති අතර, පෙ.ව. 10.40 පමණ වනවිට එය අවසානවිය. රසවත්ම සිදුවීම වූයේ මින් පසුවයි.උත්සවය අවසානයේදී, නිවේදකයා දැනුම් දුන්නේ, දෙමාපියන්ට ශාලාවෙන් ඉවත්වන ලෙසත්, දරුවන්ට තම ආසනවල රැදී සිටින ලෙසත්ය. නමුත්, දෙමාපියන් ශාලාවෙන් ඉවත්වන බවක් නොපෙනේ. ඇතැම් දෙමාපියන් දරුවන් සිටින ආසන වෙත යයි. ඇතැම් දරුවන් දෙමාපියන් සොයා යයි. ශාලාවම එකම මාළු කඩයකි. නැවතත් පොලිස් කාරයාගේ භූමිකාව සදහා ආරක්ෂක නිලධාරීන් අවතීර්ණවිය. ඔවුන්හට ශාලාව තුළ දරුවන්ගේ සක්මන නැවතීමට කටයුතු කරන අතරම, දෙමාපියන් ශාලාවෙන් ඉවත්කිරීමද සිදුකිරීමට විය. එක් පියෙකු දරුවන් සිටින පෙදෙසට යාමට යාමේදී, ආරක්ෂක නිලධරුවෙක් ඔහු නවතා “කොහෙද යන්නේ ?” යි විමසීය. පියා අතදිගුකර යමක් මිමිණීය. අවසන කෙසේ හෝ ආරක්ෂකයින්ගේ වෑයම සාර්ථක වූ අතර, ඉන් පසු සිදුවූ දෙය මාහට අදහාගතනොහීය. ශාලාවෙන් පිටත සිටින දෙමාපියන් ජනෙල් කවුළු තුලින් පොරකමින් ශාලාව දෙස බලමින් සිටී. මෙම සිදුවීම් මාලාව දුටු විට සැබැවින්ම මාහට සිහි වූයේ පෙර පාසැලකට දරුවන් භාරදෙන දිනක්. එම අවස්ථාවේදී ප්‍රසිද්ධියේ සිනහ වියනොහැකි වුවද, මා සිතින් බඩපැලෙන්න සිනාවිය. මෙය මා රචනයේදී එය කෙතරම් දුරට ඔබට සමීප කිරීමට හැකිවූයේ දැයි ඔබම තීරණය කරන්න.

දිගටම කියවන්න

ප්‍රතිචාර 16

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

මෙතනත් ත’ර්ඩ් මෑන්

මේ, මෙම බ්ලොග් අඩවියේ ත’ ර්ඩ් මෑන් තබන පළමු සටහනයි. මම තව බ්ලොග් එකක් ලියන නිසා, සමහරු නම් මාව දන්නවත් ඇති. අද පටන් මෙතනිනුත් මගේ අදහස් මගින් මා කවුදැයි ඔබට දැනගත හැකිවනු ඇත. මෙහිදී මා ක්‍රිකට් වලින් මිදී, විවිධාකාර මාතෘකා ඔස්සේ මාගේ අදහස් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under වර්ගීකරණය නොකළ