Category Archives: සංවේදී

2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි.

පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස්ථානයේදී එක් සුවිශේෂී පැමිණිල්ලක් සටහන්විය. එනම්, “ජුමුරි” නම් වැඳිරියක විසින් තම ස්වාමි වඳුරාවන “රාජා” ට විරුද්ධවයි. පැමිණිල්ලට හේතුව වනුයේ ඔවුන්ගේ දරුවාවන “කුනා” නමැති තෙමස් වියැති වඳුරු පැටවාව ඝාතනයට රාජා විසින් කිහිපවිටකම උත්සාහ දැරීමයි. කුනා යනු ඔවුන්ගේ දෙවන දරුවායි. මීට පෙර පළමු දරුවාව රාජා විසින් මරා දමා තිබේ. එබැවින්, කුනාගේ ආරක්ෂාව වෙනුවෙන් ජුමුරි, ගම්මුන්ගේද සහය ඇතිව පොලිස් ආරක්ෂාව පැතීය. අස්තරන්හි පොලිස් පරීක්ෂක සතින්ද්‍ර කුමාර් දාස් මහතා ප්‍රරකාශ කරන අන්දමට, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 363, 366, 507 හා 511 යන වගන්ති යටතේ මෙම පැමිණිල්ල සටහන්කරගෙන තිබේ.

මෙම පුවත දුටුවනම මාගේ මතකයට පැමිණියේ මීට සමාන ජාතක කාථාවක් ඇති බවයි. නමුත්, එහි නම මාගේ මතකයේ නොතිබූ අතර, මා සන්තකයේ ඇති සංෂිප්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළා බලා මහත් පරිශ්‍රමයකින් අනතුරුව එය සොයාගන්නා ලදි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස එය මෙහි පළකරමි.

එක් සමයක බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී දෙව්දත් තෙරුන්ගේ වධ කිරීමේ උත්සාහයක් නිසා මේ ධර්මය වදාළ සේක.

අතීතයෙහි බරණැස බඹදත් නිරිඳුගේ කාලයෙහි දෙව්දත් තෙර වඳුරු ජාතියෙහි ඉපිද හිමාලය පෙදෙසෙහි වඳුරු සමූහයා පාලනය කරමින් තමන්ට දාව උපන් පැටවුන් “මොහු වැඩී වානර සමූහය පාලනය කරතී” බියෙන් දතින් සපා ඔවුන්ගේ බීජ උපුටා දමයි. එකල බෝධිසත්ත්වයෝ ද ඔහුට දාව වැඳිරි කුසක පිළිසිඳ ගත්හ. වැඳිරිය අන් කඳු පෙදෙසකට ගොස් දරුගැබ රැකගෙන බෝසතුන් ප්‍රසූත කළාය.බෝධිසත්ත්වයෝ වැඩී ජවබල ඇතිව මවගෙන් සිය පියාණන් ගැන විමසා ඔහු වෙත ගෙන යන ලෙස කීහ. වැඳිරිය සියලු තතු හෙළි කළද බෝසතුන්ගේ ඉල්ලීම පරිදි එහි ගෙන ගියාය. වඳුරු රජ පුතු දැකීමත් සමඟම දැන්ම මොහු තුරන් කළයුතුයයි සිතා ආදර බස් කියා පුතු වැළඳ ගන්නා ලෙස පෙන්වා තරයේ මිරිකාලීය. ඇත්බල ඇති බෝධිසත්ත්වයෝ ද එසේම තරයේ මිරිකා ලුහ. එවිට වඳුරු රජුට මැරෙන තරමේ වේදනාවක් දැනිණ. කවර උපායකින් හෝ පැටවා මරාදැමිය යුතුයයි සිතූ ඔහු “දරුව, මම දැන් මහලු වෙමි. තොපට අදම රාජ්‍යය පාවා දෙමි. වහා ගොස් අසවල් විලෙන් ඇඹුල, උපුල, නෙළුම්මල් ගෙනව” යි රාක්ෂසාධිගෘහිත විලකට පාර දැක්වීය. ඒ රාක්ෂසයා විලට බසින සියලු සතුන් කා දමයි.

බෝධිසත්ත්වයෝ එහි ගොස් එය රාක්ෂසාධිගෘහිත විලකැයි දැන උපායෙන් මල් කඩාගෙන යෙමී වේගයෙන් අහසට පැන උඩ නැඟී මල් කඩාගෙනම එතෙරට පනිති. ඒ ක්‍රමයෙන්ම මෙතෙරටත් පනිති. මෙසේ රාක්ෂසයාගේ අණසක ඇති දියටත් නොබැස මලුත් කඩන බෝසතුන් දැක පුදුමයට පත්ව දිය දෙබේ කොට මතුවී වඳුරාණෙනි මෙසේ පැමිණි බිය දුරු කිරීමේ ප්‍රඥාවෙන් යුත් වීර්යය, නිර්භීතකම, උපායඥානය යන තුන් ධර්මය යමෙකුට ඇත්නම් ඔහු සතුරන් ජයගන්නේයයි බෝසතුන්ට ප්‍රශංසා කළේය. ඉක්බිති මේ මල් කුමටදැයි විමසා සියතින්ම ඔසවා ගෙන බෝසතුන් පසු පස ගියේය. දුරදීම එන බෝසතුන් දුටු වඳුරු රජ රකුසන් කතී සිතා මම මොහු යැවීමි. දැන් රකුසා ලවාම මල් ගෙන්වා ගෙන එයි. විනාශකැයි ළය පැළී මළේය. වඳුරෝ එක්ව බෝසතුන් රජ කළාහුය.

මෙසේ මේ පුවත වදාළ සර්වඥයන් වහන්සේ එකල වඳුරුනායක දේවදත්ත ස්ථවිරයෝය. පුත්‍රයා නම් භාග්‍යවතුන් වහන්සේමයයි වදාළ සේක.

ප්‍රතිචාර 2

Filed under ජාත්‍යන්තර, රසවත්, සංවේදී

ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්

මම අමන්දි. මගේ මව කුවේටයට ගියේ මට අවුරුදු හතේදි. මට අම්මව යන්තමට මතකයි. අම්මත් එක්ක දවසක් කුරුණෑගල රෝහලෙන් බේත් අරගෙන ආ දවස අද වගේ මට මතකයි. එදා මගෙ මරණය සිද්ධ වෙන්න තිබුණු දවසක් කියලා කීවේ මගේ ආච්චි. එදා අම්මා මාව කුරුණෑගලට අරගෙන ගියේ පයින්ලු. කුරුණෑගල රෝහල ළග ඉදන් අපේ ගෙදරට හරියටම සැතපුම් තිහක් තියෙනවා. අම්ම කොහොමද මාව ඒ තරම් දුරක් පයින් එක්ක ගියේ. මට දැන් අම්ම කරපු ඒ දේ ගැන හිතද්දි ඇති වන්නේ අම්ම ගැන පුදුම ආදරයක්. මම අම්මට කවදාවත් බනින්නේ නෑ. එයා මගෙ පණ බේරුව මගේම අම්මා.

එදා මට හොදටම උණලු. රෝහලෙන් බේත් අරගෙන ගෙදර ආවෙත් පයින්ලු. අපේ ගම දුප්පත් ගමක්. තාර පාරේ ඉදන් සැත්පුම් පහමාරක් තියෙනවා අපේ ගේ ළගට. ඒ පාර ගුරු පාරක්. පාර දිගට පොල්වතු. ඉද හිටලා තමයි ගෙයක් තිබුණේ. රෝහලේ ඉදන් මාව වඩාගෙන අම්ම ඒ ආපු ගමන අම්මට බුදුවෙන්න තරම් ප්‍රමාණවත්. අපිව වැස්සට අහුවුණේ ඒ පොල් රුප්පා මැදදි. ඉහලන්න කුඩයක්වත් අම්මා ළග තිබිලා නෑ. අම්ම අඩ අඩා මාව ගෙදරට ගෙනාවේ රෙද්දක ඔතාගෙනලු. දෙයියෝ මාව බේරුව කියලයි ආච්චි කියන්නේ.

එහෙම මගෙ ජීවිතේ බේරපු අම්ම මාව දාල කුවේටයට ගියේ 1990 වසරේ. මගේ තාත්තා මම පොඩි කාලෙම මිය ගියා. තාත්තගේ රස්සාව වුණේ පොල් කඩන එක. තාත්තා මිය ගියේ පොල් ගහකින් වැටිලා. තාත්තා නැති අඩුව මට නොදැනුනේ තාත්ත කොයි වගේද කියලවත් මම නොදන්න නිසයි. මම ඉපදිලා අවුරුද්දකට පස්සෙයි තාත්තා මැරිලා තියෙන්නේ.

අම්මා රට ගියේ වෙන කරන්න දෙයක් නැති තැනලු. ආච්චි අම්ම තමයි මට හිටපු එකම ඥාතියා.කුවේටයට ගිය අම්මා ඊට පස්සේ මට දකින්න ලැබුණේ නෑ. එයා ඉන්නවද නැද්ද කියලවත් මම දන්නේ නෑ.

අම්මගේ නම වත්සලා රණවීර. රණවීර ආරච්චිගේ වත්සලා තමයි එයාගේ සම්පූර්ණ නම. අම්මාගේ උපන්ගම කොළඹ බොරැල්ලෙ. අම්ම රට ගියාට පස්සේ අවුරුදු තුනක් පමණ ආච්චි අම්මට මුදල් එව්වා. ඒ මුදල්වලින් ආච්චි අම්මා මට ඉගැන්නුවා. පොල් අතු හෙවිලි කරලා තිබුණ ගේ වෙනුවට උළු හෙවිළි කරපු ගෙයක් හදන්නත් ඒ සල්ලි ප්‍රමාණවත් වුණා. අපේ ගෙට කාමර දෙකක් තියෙනවා. කුස්සිය, ආලින්දියට අමතරව ඉස්තෝප්පු කෑල්ලකුත් තිබෙනවා. අම්ම එවපු ටී. වී. එක මේ ලිපිය ලියන මොහොතෙත් මට පේනව. අම්ම මට එවපු ඇදුම් පවා තවමත් මගේ අල්මාරියේ තියෙනව.ඒත් මට ඒ අම්ම දකින්න පින නෑ. 1990 දී කුවේටයට ගිය අම්මා 1993 න් පස්සේ අපිට ලියුමක්වත් එව්වේ නෑ. අනේ අම්මේ ඉන්න තැනකින් ගෙදර එන්න. අම්මාට පුදුම හිතෙන දෙයක් කියන්න මම මග බලාගෙන ඉන්නේ. අම්මට මතකද එදා වැස්සෙ තෙමීගෙන කුරුණෑගල රෝහලේ ඉදන් පයින්ම මාව වඩාගෙන ගෙදර ආපු හැටි.

එදා මගෙ උණ වැඩිවෙලා, සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවෙලා මම විදපු වේදනාව දැකලා අම්ම මටත් වැඩිය හයියෙන් අඩපු ඒ දවස මතකද ? මගේ රත්තරං අම්මේ. අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මට විශ්වාසයි. අම්මට මගේ අතින් බේත් ටිකක් පොවන්න මම කොච්චර ආසද ? අම්මගෙ ප්‍රෙෂර් එක බලන්න, අම්මට උණ ගැනුනම බේත් දෙන්න. මම කොච්චර ආශාවෙන්ද ඉන්නේ අම්මේ.

එදා සැතපුම් තිහක් ගෙවාගෙන පයින්ම කුරුණෑගල රෝහලට උස්සගෙන ආපු ඒ දුප්පත් කෙල්ල අද දොස්තරවරියක් කියලා අම්ම දන්නවද ? ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්. අම්ම දන්නවද අම්මේ, දුප්පත් දරුවෝ හොය හොයා ඒ අයට බේත් දෙනවා කියලා. මම දුප්පත් අයගෙන් සල්ලි ගන්නේ නෑ. අම්ම, තාත්තා නැති දරුවෝ  වෙනුවෙන් මම මගේ සේසතම වුණත් වැය කරනවා. අනේ අම්මේ ඔය කුවේටයේ හිටියා ඇති. ඉන්න තැනකින් අම්මගෙ දොස්තර දුව බලන්න එන්න. අම්මා ඔය රටේ බැල මෙහෙවර කළා ඇති.ආච්චියි මමයි දැන් ඉන්නේ කොළඹ. අපේ පරණ ගෙදර එහෙමම තියෙනවා. ඒ ගෙදර අද ඉන්නේ අපි වගේම දුප්පත් පවුලක්. ඒ පවුලෙත් දුවක් ඉන්නවා. එයාලට සලකන්නේ මමයි. අම්මට ඒ ගෙදරට ඇවිත් මාව හොයා ගන්න පුළුවන්.

මේ ලිපිය පත්තරේ පළ වුණොත් මගෙ අම්ම මේක දකීවි කියලා මට විශ්වාසයි. කුවේටයට ගිය අම්මගේ පින්තූරයක්වත් මගෙ ළග නෑ. ඒ රටේ කොහේ ඉන්නවද කියලා දන්නෙත් නෑ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ ගැන විමසන්න කිසිම ලියකියවිල්ලක් නෑ. මගෙ රත්තරං අම්මේ, මාව බලන්න ලංකාවට එන්න.

මේ අම්මගෙ
සෙනෙහස ඉල්ලන අමන්දි දුව.

ඉහතින් දක්වා ඇත්තේ අද දින ( 25 – 10 – 2009 ) දිවයින මැද පෙරදිග අතිරේකයේ පළවූ ලිපියකි. මෙය මෙරට ඇති මෙවන් කථා අතර තවත් එක් කථාවක් පමණයි. වර්ථමානයේදී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වනුයේ විදේශ සේවයයි. සැබැවින්ම නම්, මෙරට සියලු පුරවැසියන් පිටරටින් ගෙන්වා කන පාන් පෙත්තක් ගානේ මොවුන්ට ණයය. නමුත්, මෙලෙස කාන්තාවන් විදේශ සේවා සදහා යැවීම මා අනුමත නොකරයි. ඉහත සිදුවීම එක් විශේෂ අවස්ථාවකි. අමන්දි ළග දෙමාපියන් නොසිටියද, මව එවූ මුදල් නිසිලෙස කළමණාකරණය කරමින් මැයට හොද අධ්‍යාපනයක් ලබාදීමට මැයගේ ආච්චි සමත්විය.නමුත් බොහෝවිට සිදුවන්නේ, මෙරටට එවන මුදල් යමෙකුගේ බේබදුකමට, සූදුවට ආදීලෙස නැතිනාස්තිවීමයි. අවසානයේදී දරුවන්ට මවගේ සෙනෙහස අහිමිකර ඔබ විදේශගත වූවාට ලැබූ දෙයක් නැතිවියහැක. ඇතැම්විට පවුල් ජීවිතයද විසිරීයෑහැක.

මෙහිදී තවත් එක් සිදුවීමක් මාගේ මතකයට පැමිණේ. මාගේ මිතුරෙකුගේ මවත්, පියාත් දෙදෙනාම සිටින්නේ විදේශගතවයි. ඔහුව රැකබලා ගනු ලැබුවේ ඔහුගේ මිත්තණියයි. ඔහු කුඩා කළ සිටම තම මිත්තණියට අමතනු ලබන්නේ ” හොද අම්මා ” යනුවෙන්ය. ඔව්, ඔහු සිටින්නේ තම මව සමග කෝපයකින්.

ප්‍රතිචාර 4

Filed under සංවේදී