Category Archives: විශ්ව විද්‍යාලය

මාසයක් ගෙදර

ChickenCartoon

කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් උණක් කියලයි. සති 2ක් උණ තිබුනා. ඡන්දෙට සතියක් නිවාඩු හම්බුනනිසා රෙස්ට් කරන්නත් පුළුවන් වුනා. අසනීපෙන් පස්සෙ හා හා පුරා කියල පසුගිය සතියේ සඳුදා කැම්පස් ගියා. වෙනද වගේ නෙමේ. කන්ද නැඟලා එනකොට හොඳ ගනන්. කකුල් දෙක පණ නැතිවෙනවා.

උදේම තිබ්බෙ මාගේ ප්‍රියතම විෂය – ඉලෙක්ට්‍රොනික්ස්. අහෝ !! මේ කිනම් විපර්යාසයක්ද ? මෙතෙක් මාහට හොඳින් වැටහුණු විෂය ! දැන් අසන්දිට්ඨිකයි. ඉන් පසුව තිබුනේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රායෝගික පන්තිය. ඒකනම් ටොප්. හැබැයි අවුලකට තිබ්බෙ පැය 3ක් හිටගෙන ඉන්න එකතමා. ප්‍රායෝගිකය කරන වේලාවේ මාහට එතරම් වැටහීමක් නොතිබුනද, දෙපා අමාරුව දැනෙන්න ගත්තේ ඉන් පසුවයි. හප්පා ! ඇවිදගන්නත් බෑ විසිවෙනව වගේ. ඔළුවත් කැරකෙනවා. එදා බෝඩිමට ගිහින් හොඳට නිදාගත්තා. හැබැයි ඉතින් හවස් වරුවෙ, පොත් ටිකක් අල්ලගෙන නොතේරුණු ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ගොඩදාගන්නත් ට්‍රයිකළා.

පහුවෙනිදා කැම්පස් යන්න හම්බුනේ නෑ. ඇඟට පණ නෑ. ඔළුව කැරකෙනවා. ( පෘථිවිය භ්‍රමණයවන බව නිරීක්ෂණාත්මකව සනාථ කරගැනීම ) බෝඩිමේ ඇන්ටිලා මට බනිනවා, මම vegetarian නිසා  ඇඟේ ශක්තිය මදි කියලා. {බෝඩිමේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා ( අක්කයි, නංගියි ). තව මේ දෙන්නගෙ සහෝදරියකගෙ පුතුන් දෙදෙනා ඉන්නවා(මට අයියලා)} ඔය එක අයිය කෙනෙකුටත් මට උණ තිබුණ කාලෙම ඩෙංගු හැඳුනා. එයත් හිටපු vegetarian කෙනෙක්. හැබැයි ලෙඩවුනයින් පස්සෙ ඇන්ටිලාගෙ බලපෑම මත, එයා ඕනදෙයක් කනවා. බදාදා තාත්තා ආව මාව ගෙදර එක්ක යන්න. දැන් ගෙදර ඇවිත් සතියක් වුනා. හිටියටවඩා දැන් තත්වෙ හොඳයි. ගෙදරිනුත් කියන්නෙ vegetarian පැත්තක දාන්න කියලා.

නමුත් මගෙ හෘදය සාක්ෂිය අනුව එය කළ නොහැකියි. මා දරන මතය අනුවනම් මාංශ පරිභෝජනය නොකරන විට, අහිංසක සතුන්ගේ ජීවිත නැතිකිරීමට අවශ්‍යතා අවමවේ. සසර කෙළවර වනතෙක් මා රැකීමට ඇරඹූ සීලයක්, මේ එක් ජීවිතයක පැවැත්ම උදෙසා බිඳ ගත යුතුද ? මා දන්නා ආකාරයට සීල  පරමත්ත පාරමිතාව යනු මෙයයි. මෙය දිගටම රක්ෂා කිරීම වීර්ය පාරමිතාවක්ද වනවා. ඔබට ගැටලුවක් පැන නඟින්න පුළුවන්, මීළඟ භවයන් වළදීත් මේ භවයේ රකිනා සීලයන් රැකිය හැකිදැයි; යනුවෙන්. සසර පුරුද්ද අනුව එය සිදුවිය හැකිබව මාගේ විශ්වාසයයි. අනෙක, කුසල් හා පින් සිදුකිරීමට සුදුසු පරිසරයක ඉපදීමටද පිනක් තිබිය යුතුවනවා.

ප්‍රතිචාර 9

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

අතට ගත් පසු කටට දා ගැනීම

DSC00444

2008 වසරේදී මා උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමවර පෙනී සිටි අතර, මැවිසුරු පීඨයට (Engineering Faculty) සුදුසුකම් ලැබීමට මම සුදුසුකම් නොලැබීමි. පවුලේ ඥාතීහු හා ගුරුවරු මා දෙවනවර ද උසස් පෙළට පෙනීසිටී යයි සිතුවද, මාහට මගේම වූ අරමුණක් විය. මාගේ අරමුණ වූයේ භෞතීය විද්‍යා පාථමාලාව හැදෑරීමයි.

කැලණිය සරසවියට මා ඇතුල්වූ දිනය පිළිබදව මම ලිවූ ලිපිය ඔබලාට මතක ඇතැයි සිතමි. මෙලෙස කැලණිය සරසවියට මා පැමිණියද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මා තෝරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාවටය. ජ’පුර මා සති 3ක් ( හැඩගැස්වීමේ වැඩසටහන සති 2ක් හා දේශන සතියක් ) රැදී සිටි අතර, එය ඉතාමත් මිහිරි සමයක් විය. නව මිතුරන් රැසක් සමග ඉන්දරේ අයියාවද එහිදී මට මුණ ගැසීමට හැකිවිය. facebookවලට පිං සිදුවීමට ඔවුන් සමග තවමත් සබදතා පැවැත්වීමට මාහට හැකිවී තිබේ. ජ’පුර විද්‍යා පීඨයේදීද මාගේ අරමුණකරා ලඟා වියහැකිව තිබුණද, මම දකින අන්දමට කැලණියේදී වඩා පුළුල්ලෙස මාගේ ප්‍රියතම විෂයන් හැදෑරීමේ හැකියාවක් ඇත. එබැවින් මම අභියාචනයක් මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාව ලබාගතිමි.

කැලණියේ සති 4ක් වූ හැඩගැස්වීමේ පාඨමාලාවේ, අවසාන සති 3 වෙන්කර තිබූයේ සිංහල, ඉංග්‍රීසි හා ආචාර ධර්ම යන විෂයන් ඉගෙන ගැනීමටයි. මෙහිදී, අප බොහෝ තෘප්තියක් ලැබූයේ ඉංග්‍රීසි හැදෑරීමේදීය. එහි තිබූ විවිධ ක්‍රියාකාරකම් මගින් අප තුළ සැගව තිබූ දක්ෂතා හදුනාගැනීම, නිර්මාණශීලීත්වය වර්ධනයකර ගැනීමටද අපට අවස්ථාවන් පෑදින. නවක විද්‍යාර්ථයින් සදහා සිංහල හා ආචාර ධර්ම ඉගැන්වීම පිළිබදව සිංහලයෙකුලෙස මා කැමතිවුවද, විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස බැලීමේදී එහි යම්යම් අඩුපාඩු දැකියහැකිවේ.

මෙහිදී තවමත් මාගේ සිතේ වේදනාදෙන සිදුවීමක් ඔබ හමුවේ පැවසීම යුක්ති යුක්ත යැයි සිතමි. ඉංග්‍රීසි විෂයෙහි අපට ලැබුණු එක් ක්‍රියාකරකමක් වූයේ ලෝකයේ මානව හිමිකම් කඩවන අවස්ථාවක් පිළිබදව එක් එක් කණ්ඩායම් දැන්වීමක් සෑදීමටයි. මෙහිදී මා තෝරාගනු ලැබූයේ ඉරාකයේ ඇමරිකන් හමුදාවන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීමයි. මෙහිදී “මා තෝරාගනු ලැබූවේ” යනුවෙන් පැවසීමේදී ඔබ තුළ විමතියක් ඇතිවූයේනම් ඒ පිළිබදව මම පුදුම නොවෙමි. මන්ද, මෙය කණ්ඩායම් ක්‍රියාකාරකමකි.නමුත්, අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සිටියේ මා ඇතුළුව පිරිමි ළමුන් දෙදෙනෙකු පමණි. අප දෙදෙනා තීරණයක් ගැනීම, කණ්ඩායම තීරණයක් ගැනීම හා සමානවිය. මන්ද, ගැහැණු ළමෝ ප්‍රවෘත්ති නොබලති, නොඅසති. රටේ තොටේ සිදුවන කිසිවක් ඔවූහු නොදනිති. කෙසේහෝ මේ ක්‍රියාකාරකම සදහා අපට හිමිවූයේ එක් දිනක් පමණක් බැවින් එදින දිවා අහරද අමතක කොට මා හා අනෙක් මිතුරා Internet Cafe 1ක් වෙත බඩගෑවේය. අප දෙදෙනා අපට අවශ්‍ය තොරතුරු ඉතිරිකරගෙන අන්සියල්ල අපි ඔවුන් වෙත ලබා දුන්නෙමු. අප සතුවූ තොරතුරු පිළිවෙළකට සකස් කොට, මා එක් වාක්‍යයක් පැවසූපසු, අනෙක් වාක්‍යය මිතුරාද කියන ආකාරයට පිළිවෙලකට සැකසීමි. පිංතූරද පිළිවෙලකට සැකසීමි. තේමා වාදන සංගීත ඛණ්ඩයක්ද සොයාගතිමි. මට අවශ්‍යයවනුයේ එතෙක් මෙතෙක් බිහිවූ හොදමදේවල් කිරීමටයි. පසුදින සරසවියට ගොස් බැලීමේදී, දක්නට වූයේ අපදුන් මුද්‍රිත පිටපත් (Print Out), අපගේ සාමාජිකාවන් අත තවමත් එලෙසම තිබෙන අයුරුය. ඇතමුන් වාක්‍යය සාදමින් සිටී. ඇතමුන් මුද්‍රිත පිටපත් අත තබාගෙන මාසයෙන් මාසයේ වසර හයක මියගිය ගණන් කියවීය. මම මොවුන්ට එසේ නොකරනමෙන් සිංහලෙන් ඉල්ලා සිටියද ඵලක්වූයේ නැත. අවසානයේදී මිනිත්තු 5 -10 අතර වියයුතු දැන්වීම, මිනිත්තු 20කට කිට්ටු විය. ඔවුන් ලබාදුන් එකම නිර්මාණශීලී අදහස වූයේ, අවසානයේ මයිකල් ජැක්සන්ගේ Heal the World ගීතය ගැයීමයි. මේ වර්තමාන ගැහැණු ළමයින්ගේ බුද්ධිය හා නිර්මාණශීලීත්වයයි.

සිංහල විෂයේදී අප ලත් අත්දැකීම් පිළිබදව පැවසීමේදී මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාරයන් අමතක කළ නොහැක. එතුමාගේ තර්කානුකූල කරුණු දැන්වීම, සිංහල විෂයය අතිරේක විෂයක් ලෙස හැදෑරීමට මා තුළ තිබූ ආශාව වැඩිකිරීමට සමත්විය. තවද, එක් මහාචාර්ය වරයෙක් සාහිත්‍යය විචාරයක් කිරීමේදී, ඔහුට යම් කරුණක් පැවසීම මගහැරුණි. මද වේලාවකින් ඔහුටම එය වැටහී ” මට අරක අමතක වුනා ” යනුවෙන් පැවසීය. මහාචාර්යතුමාට අමතක වූ බව අපට අමතකය. ඒ තරමට අපි අවධානයෙන් සිටියෙමු.

කෙසේ වුවද, දැන් හැඩගැස්වීම් කාලය අවසානයි. ලබන සදුදා සිට දේශන ආරම්භවේ. පළමු දේශනය ලෙස ඇත්තේ, 10 ශ්‍රේණියේ සිට මා පෙම්කළ විෂය වූ ඉලෙක්ට්‍රොනික්ස් ය. පළමු සමාසිකය තමා කැමති විෂය පථයකින් හැදෑරිය හැක. අනතුරුව පළමු සමාසිකය අවසාන විභාගයේ ලකුණුමත අප සුදුසුකම් ලබන විෂයයන් තීරණයවේ. එබැවින් මම දැන් මට අවශ්‍යය වූ දෙය අතට ගෙන ඇත, ඇත්තේ කටට දා ගැනීමයි.

ප්‍රතිචාර 6

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

මග මරුවෝ !

මේ පවසන්නට යන්නේ ඊයේ දින සරසවිය නිමවී මා නිවස බලා පැමිනෙණ අතර මගදී සිදු වූ සිදුවීමකි. මෙදින අපහට සරසවි අනුගත කිරීමේ වැඩසටහනෙහි, සංගීත වැඩසටහනක් ප.ව. 4.30 ට නියමිතව තිබුණද, මා එයට සහභාගීනොවී පැමිණියේ නිවසට යාම ප්‍රමාදවන බැවිනි. ඉතින් මා විශ්වවිද්‍යාලය අසලින් කුරුණෑගල පුද්ගලික බස් රථයකට ගොඩවූ අතර, එදින සිකුරාදාවක් වූයෙන් මා හට යාමට වූයේ සිටගෙනය.

ටික දුරක් යනවිට සුපුරුදු පරිදි බස් රථය, වෙනත් බස් රථ සමග රේස් යාමට පටන්ගන්නා ලදි. එක්වරම ඉදිරියෙන් ගමන්ගත් බස් රථය තිරිංග යෙදීය. එයට පිටුපසින් පැමිණි මා ගමන්ගත් බසයේ රියැදුරාට එක්වරම බසය නතර කරගත නොහැකි විය. “දඩස්” හඩක් ඇසුනි. මා ගිය බසයේ වම්පස පැති කණ්ණාඩිය පාර මැදය. තම ගමන පමාවීම පිළිබදව මගීන් කෝපයෙන් පුපුරයි. කෙසේ හෝ කොන්දොස්තරවරු දෙදෙනා බසයේ අයිතිකරුවන්ට දුරකථන ඇමතුම්දී, විනාඩි 10 කට අඩු කාලයක් තුළ ගැටලුව සමථයකට පත්කරගැනීමට සමත්විය. වැඩිවේලාවක් යාමට මත්තෙන් “ඔන්ද ස්පොට් අතට සල්ලි” රක්ෂණයෙන් පැමිණ අනෙක් බසයේ ඡායාරූප ගත්තේය.

නැවතත් ගමන ආරම්භවිය. විනාඩි 40 ගතවූයේනැත. මා ගමන්ගත් බස් රථය පසුකිරීමට උත්සාහකළ තවත් බස් රථයක්, මා ගමන්ගත් බසයේ දකුණුපස පැති කණ්ණාඩිය කඩාගෙනගොස් නතරවිය. දැන් බසයේ පැති කණ්ණාඩි කිසිවක් නැත. බොහෝමයක් මගීන් මෙවරද මෙය දෙස දුටුවේ  කෝපයකිනි. නමුත්, මා ඇතුළු කිහිපදෙනෙකුටනම් එවෙලේ නැගුණු සිනහව නතර කරගත නොහැකිවිය. (තවමත් මතක්වන විට බඩපැලෙන්න සිනාවියහැක.) කෙසේ වුවද මෙවරත්, ගැටළුව ගොඩින් බේරා ගැනීමට කොන්දොස්තරවරුන් සමත්විය.

ප්‍රතිචාර 4

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

පෙර පාසැලක් ලෙස දුටු සරසවිය

මාතෘකාව දුටු විගස ඔබ වික්ෂිප්ත වූවානම් එය අරුමයක් නොවේ. මා මෙහි පවසන්නට යන්නේ මා අත්විදි සිදුවීමකි. මා කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකි. අනෙකුත් සරසවීන් මීට මාස 2 කට පමණ පෙර ආරම්භ වුවද, යම් හේතුවක්මත අපට ආරම්භ වූයේ පසුගිය 19 වන සදු දිනයි. මෙදින අප සමග වාණිජ හා කළමනාකරණ පීඨයේ නවකයන්ද කැදවනු ලැබීය. සියල්ලන්වම ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් පිළිගත් අතර ඔවුන් අපහට සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.

අනතුරුව සමාරම්භක නිල උත්සවය පැවැත්වූයේ, ශ්‍රී ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාවේදීය. මා මෙම සටහන තැබීමට මූලිකවූ සිදුවීම සිදුවූයේ මෙහිදීය. පෙ.ව. 9 ට ආරම්භ වියයුතු උත්සවයට මා ගියේ ආරම්භයට ඔන්න මෙන්න තිබියදීය. එබැවින් මාහට අසුන් ගැනීමට සිදුවූයේ, සිසුන් සදහා වෙන්කර තිබූ අසුන්වල පිටුපසට වන්නටය. මේ වනවිටත් ඇතැම් සිසුන් පැමිණෙමින් සිටියි. දෙමාපියන් හා සිසුන් ශාලාවට ඇතුල් කරවන්නේ වෙනවෙනම බැවින් දෙමාපියන් කොටසක් ශාලාවෙන් පිටත පෝලිමක සිටී. උත්සවය ආරම්භකිරීම සදහා නිවේදකයා සභාව ඇමතීම ආරම්භ කරනවාත් සමගම, ප්ලාස්ටික් පුටු පෙරලෙන හඩක් නැගුණි.එක් වරම පිටුපස හැරී බැලූ අපහට දක්නට ලැබුනේ ආරක්ෂක නිලධරුවන්ද පෙරලා ශාලාවට පිවිසෙන දෙමාපියන්ය. ඔවුන් ශාලාවට පැමිණ සිසුන් සදහා වෙන්කර තිබූ ආසනවලද (මා සිටි පෙළට පසුපස පෙළ) අසුන්ගත් අතර, ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔවුන්හට පැවසූවේ, “දැං තව ළමයි ආවොත් ඔයාලට ඔතනින් යන්න වෙනවා” යනුවෙනි. වැඩිවේලාවක් ගතවූවේ නැත. ගැහැණු ළමුන් පෝලිමක් පැමිණ ඔවුන් අසල සිට ගන්නාලදි.

අනතුරුව, සාමාන්‍යලෙස උත්සවය පැවති අතර, පෙ.ව. 10.40 පමණ වනවිට එය අවසානවිය. රසවත්ම සිදුවීම වූයේ මින් පසුවයි.උත්සවය අවසානයේදී, නිවේදකයා දැනුම් දුන්නේ, දෙමාපියන්ට ශාලාවෙන් ඉවත්වන ලෙසත්, දරුවන්ට තම ආසනවල රැදී සිටින ලෙසත්ය. නමුත්, දෙමාපියන් ශාලාවෙන් ඉවත්වන බවක් නොපෙනේ. ඇතැම් දෙමාපියන් දරුවන් සිටින ආසන වෙත යයි. ඇතැම් දරුවන් දෙමාපියන් සොයා යයි. ශාලාවම එකම මාළු කඩයකි. නැවතත් පොලිස් කාරයාගේ භූමිකාව සදහා ආරක්ෂක නිලධාරීන් අවතීර්ණවිය. ඔවුන්හට ශාලාව තුළ දරුවන්ගේ සක්මන නැවතීමට කටයුතු කරන අතරම, දෙමාපියන් ශාලාවෙන් ඉවත්කිරීමද සිදුකිරීමට විය. එක් පියෙකු දරුවන් සිටින පෙදෙසට යාමට යාමේදී, ආරක්ෂක නිලධරුවෙක් ඔහු නවතා “කොහෙද යන්නේ ?” යි විමසීය. පියා අතදිගුකර යමක් මිමිණීය. අවසන කෙසේ හෝ ආරක්ෂකයින්ගේ වෑයම සාර්ථක වූ අතර, ඉන් පසු සිදුවූ දෙය මාහට අදහාගතනොහීය. ශාලාවෙන් පිටත සිටින දෙමාපියන් ජනෙල් කවුළු තුලින් පොරකමින් ශාලාව දෙස බලමින් සිටී. මෙම සිදුවීම් මාලාව දුටු විට සැබැවින්ම මාහට සිහි වූයේ පෙර පාසැලකට දරුවන් භාරදෙන දිනක්. එම අවස්ථාවේදී ප්‍රසිද්ධියේ සිනහ වියනොහැකි වුවද, මා සිතින් බඩපැලෙන්න සිනාවිය. මෙය මා රචනයේදී එය කෙතරම් දුරට ඔබට සමීප කිරීමට හැකිවූයේ දැයි ඔබම තීරණය කරන්න.

දිගටම කියවන්න

ප්‍රතිචාර 16

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය