Category Archives: රසවත්

අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ

කථානායකවරයාට බිත්තර ප්‍රහාරයක්

යුක්‍රේන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පසුගියදා සිදුවිය. යුක්‍රේනය පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රටකි. නමුත්, සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව, එයට අයත්ව පැවති බොහෝ රටවල මෙන් මෙහිද, රුසියාවට පක්ෂපාතී පක්ෂ හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාතී පක්ෂ ලෙස පක්ෂ දෙකොට්ඨාසයක් බිහිවිය. මේ වනවිට යුක්‍රේනයේ පාලනය හිමිව ඇත්තේ රුසියානු පාක්ෂික කණ්ඩායමක් වෙතයි. මෙම ගැටුමට මූලික හේතුව වී ඇත්තේ යුක්‍රේනය තුළ පවතින රුසියානු නාවික මූලස්ථානයක් තවදුරටත් පවත්වාගෙනයාමට ආණ්ඩු පක්ෂය ගත් තීරණයයි. මෙම තීරණයට විරුද්ධවූ විපක්ෂය ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට හා කථානායකවරයාට පහරදීමටත්, දුම් බෝම්බ එල්ලකිරීමටත් කටයුතු කරඇත. මේ පිළිබඳව අපට පවසීමට ඇත්තේ, යුක්‍රේන වැසියා බෙහෙවින් වාසනාවන්තය. මන්ද, අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ මේ සේරම කරන්නේ.

ප්‍රතිචාර 6

Filed under ජාත්‍යන්තර, දේශපාලන, රසවත්

පොල් පොට්

හිට්ලර්ලා, ඉඩි අමීන්ලා, පොල් පොට්ලා ගැන කියවෙන මේ යුගයේදී, මීට සයවසරකට පමණපෙර මා ලැබූ අත්දැකීමක් පැවසීමට අදහස් කලෙමි. එකළ මාගේ මලනුවන් සත්වන ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබමින් සිටියේය. මා ඔහුට තෙවසරක් වැඩිමහළුය. එකළ ඔහුගේ තිබූ විවිධ චරිත ලක්ෂණ අනුව මා ඔහුට විවිධ නම් පැවසීය. ඒවාට ගැලපෙන අයුරින් ඔහු මටද විවිධ නම් පැවසීය. දිනක් අප අතර මෙවන් සංවාදයක් ඇතිවිය;

මම   :- පොල් පොට්
මල්ලි:- ඩෙසිකට්

කදිම කරුණ වනුයේ, ඒවන විට මා ඩෙසිකට් යනු කුමක්දැයි නොදැන සිටීමයි.

ප්‍රතිචාර 4

Filed under ජාත්‍යන්තර, දේශපාලන, මට වෙච්ච වැඩ, මම, රසවත්

2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි.

පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස්ථානයේදී එක් සුවිශේෂී පැමිණිල්ලක් සටහන්විය. එනම්, “ජුමුරි” නම් වැඳිරියක විසින් තම ස්වාමි වඳුරාවන “රාජා” ට විරුද්ධවයි. පැමිණිල්ලට හේතුව වනුයේ ඔවුන්ගේ දරුවාවන “කුනා” නමැති තෙමස් වියැති වඳුරු පැටවාව ඝාතනයට රාජා විසින් කිහිපවිටකම උත්සාහ දැරීමයි. කුනා යනු ඔවුන්ගේ දෙවන දරුවායි. මීට පෙර පළමු දරුවාව රාජා විසින් මරා දමා තිබේ. එබැවින්, කුනාගේ ආරක්ෂාව වෙනුවෙන් ජුමුරි, ගම්මුන්ගේද සහය ඇතිව පොලිස් ආරක්ෂාව පැතීය. අස්තරන්හි පොලිස් පරීක්ෂක සතින්ද්‍ර කුමාර් දාස් මහතා ප්‍රරකාශ කරන අන්දමට, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 363, 366, 507 හා 511 යන වගන්ති යටතේ මෙම පැමිණිල්ල සටහන්කරගෙන තිබේ.

මෙම පුවත දුටුවනම මාගේ මතකයට පැමිණියේ මීට සමාන ජාතක කාථාවක් ඇති බවයි. නමුත්, එහි නම මාගේ මතකයේ නොතිබූ අතර, මා සන්තකයේ ඇති සංෂිප්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළා බලා මහත් පරිශ්‍රමයකින් අනතුරුව එය සොයාගන්නා ලදි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස එය මෙහි පළකරමි.

එක් සමයක බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී දෙව්දත් තෙරුන්ගේ වධ කිරීමේ උත්සාහයක් නිසා මේ ධර්මය වදාළ සේක.

අතීතයෙහි බරණැස බඹදත් නිරිඳුගේ කාලයෙහි දෙව්දත් තෙර වඳුරු ජාතියෙහි ඉපිද හිමාලය පෙදෙසෙහි වඳුරු සමූහයා පාලනය කරමින් තමන්ට දාව උපන් පැටවුන් “මොහු වැඩී වානර සමූහය පාලනය කරතී” බියෙන් දතින් සපා ඔවුන්ගේ බීජ උපුටා දමයි. එකල බෝධිසත්ත්වයෝ ද ඔහුට දාව වැඳිරි කුසක පිළිසිඳ ගත්හ. වැඳිරිය අන් කඳු පෙදෙසකට ගොස් දරුගැබ රැකගෙන බෝසතුන් ප්‍රසූත කළාය.බෝධිසත්ත්වයෝ වැඩී ජවබල ඇතිව මවගෙන් සිය පියාණන් ගැන විමසා ඔහු වෙත ගෙන යන ලෙස කීහ. වැඳිරිය සියලු තතු හෙළි කළද බෝසතුන්ගේ ඉල්ලීම පරිදි එහි ගෙන ගියාය. වඳුරු රජ පුතු දැකීමත් සමඟම දැන්ම මොහු තුරන් කළයුතුයයි සිතා ආදර බස් කියා පුතු වැළඳ ගන්නා ලෙස පෙන්වා තරයේ මිරිකාලීය. ඇත්බල ඇති බෝධිසත්ත්වයෝ ද එසේම තරයේ මිරිකා ලුහ. එවිට වඳුරු රජුට මැරෙන තරමේ වේදනාවක් දැනිණ. කවර උපායකින් හෝ පැටවා මරාදැමිය යුතුයයි සිතූ ඔහු “දරුව, මම දැන් මහලු වෙමි. තොපට අදම රාජ්‍යය පාවා දෙමි. වහා ගොස් අසවල් විලෙන් ඇඹුල, උපුල, නෙළුම්මල් ගෙනව” යි රාක්ෂසාධිගෘහිත විලකට පාර දැක්වීය. ඒ රාක්ෂසයා විලට බසින සියලු සතුන් කා දමයි.

බෝධිසත්ත්වයෝ එහි ගොස් එය රාක්ෂසාධිගෘහිත විලකැයි දැන උපායෙන් මල් කඩාගෙන යෙමී වේගයෙන් අහසට පැන උඩ නැඟී මල් කඩාගෙනම එතෙරට පනිති. ඒ ක්‍රමයෙන්ම මෙතෙරටත් පනිති. මෙසේ රාක්ෂසයාගේ අණසක ඇති දියටත් නොබැස මලුත් කඩන බෝසතුන් දැක පුදුමයට පත්ව දිය දෙබේ කොට මතුවී වඳුරාණෙනි මෙසේ පැමිණි බිය දුරු කිරීමේ ප්‍රඥාවෙන් යුත් වීර්යය, නිර්භීතකම, උපායඥානය යන තුන් ධර්මය යමෙකුට ඇත්නම් ඔහු සතුරන් ජයගන්නේයයි බෝසතුන්ට ප්‍රශංසා කළේය. ඉක්බිති මේ මල් කුමටදැයි විමසා සියතින්ම ඔසවා ගෙන බෝසතුන් පසු පස ගියේය. දුරදීම එන බෝසතුන් දුටු වඳුරු රජ රකුසන් කතී සිතා මම මොහු යැවීමි. දැන් රකුසා ලවාම මල් ගෙන්වා ගෙන එයි. විනාශකැයි ළය පැළී මළේය. වඳුරෝ එක්ව බෝසතුන් රජ කළාහුය.

මෙසේ මේ පුවත වදාළ සර්වඥයන් වහන්සේ එකල වඳුරුනායක දේවදත්ත ස්ථවිරයෝය. පුත්‍රයා නම් භාග්‍යවතුන් වහන්සේමයයි වදාළ සේක.

ප්‍රතිචාර 2

Filed under ජාත්‍යන්තර, රසවත්, සංවේදී

මග මරුවෝ !

මේ පවසන්නට යන්නේ ඊයේ දින සරසවිය නිමවී මා නිවස බලා පැමිනෙණ අතර මගදී සිදු වූ සිදුවීමකි. මෙදින අපහට සරසවි අනුගත කිරීමේ වැඩසටහනෙහි, සංගීත වැඩසටහනක් ප.ව. 4.30 ට නියමිතව තිබුණද, මා එයට සහභාගීනොවී පැමිණියේ නිවසට යාම ප්‍රමාදවන බැවිනි. ඉතින් මා විශ්වවිද්‍යාලය අසලින් කුරුණෑගල පුද්ගලික බස් රථයකට ගොඩවූ අතර, එදින සිකුරාදාවක් වූයෙන් මා හට යාමට වූයේ සිටගෙනය.

ටික දුරක් යනවිට සුපුරුදු පරිදි බස් රථය, වෙනත් බස් රථ සමග රේස් යාමට පටන්ගන්නා ලදි. එක්වරම ඉදිරියෙන් ගමන්ගත් බස් රථය තිරිංග යෙදීය. එයට පිටුපසින් පැමිණි මා ගමන්ගත් බසයේ රියැදුරාට එක්වරම බසය නතර කරගත නොහැකි විය. “දඩස්” හඩක් ඇසුනි. මා ගිය බසයේ වම්පස පැති කණ්ණාඩිය පාර මැදය. තම ගමන පමාවීම පිළිබදව මගීන් කෝපයෙන් පුපුරයි. කෙසේ හෝ කොන්දොස්තරවරු දෙදෙනා බසයේ අයිතිකරුවන්ට දුරකථන ඇමතුම්දී, විනාඩි 10 කට අඩු කාලයක් තුළ ගැටලුව සමථයකට පත්කරගැනීමට සමත්විය. වැඩිවේලාවක් යාමට මත්තෙන් “ඔන්ද ස්පොට් අතට සල්ලි” රක්ෂණයෙන් පැමිණ අනෙක් බසයේ ඡායාරූප ගත්තේය.

නැවතත් ගමන ආරම්භවිය. විනාඩි 40 ගතවූයේනැත. මා ගමන්ගත් බස් රථය පසුකිරීමට උත්සාහකළ තවත් බස් රථයක්, මා ගමන්ගත් බසයේ දකුණුපස පැති කණ්ණාඩිය කඩාගෙනගොස් නතරවිය. දැන් බසයේ පැති කණ්ණාඩි කිසිවක් නැත. බොහෝමයක් මගීන් මෙවරද මෙය දෙස දුටුවේ  කෝපයකිනි. නමුත්, මා ඇතුළු කිහිපදෙනෙකුටනම් එවෙලේ නැගුණු සිනහව නතර කරගත නොහැකිවිය. (තවමත් මතක්වන විට බඩපැලෙන්න සිනාවියහැක.) කෙසේ වුවද මෙවරත්, ගැටළුව ගොඩින් බේරා ගැනීමට කොන්දොස්තරවරුන් සමත්විය.

ප්‍රතිචාර 4

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

පෙර පාසැලක් ලෙස දුටු සරසවිය

මාතෘකාව දුටු විගස ඔබ වික්ෂිප්ත වූවානම් එය අරුමයක් නොවේ. මා මෙහි පවසන්නට යන්නේ මා අත්විදි සිදුවීමකි. මා කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකි. අනෙකුත් සරසවීන් මීට මාස 2 කට පමණ පෙර ආරම්භ වුවද, යම් හේතුවක්මත අපට ආරම්භ වූයේ පසුගිය 19 වන සදු දිනයි. මෙදින අප සමග වාණිජ හා කළමනාකරණ පීඨයේ නවකයන්ද කැදවනු ලැබීය. සියල්ලන්වම ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් පිළිගත් අතර ඔවුන් අපහට සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.

අනතුරුව සමාරම්භක නිල උත්සවය පැවැත්වූයේ, ශ්‍රී ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාවේදීය. මා මෙම සටහන තැබීමට මූලිකවූ සිදුවීම සිදුවූයේ මෙහිදීය. පෙ.ව. 9 ට ආරම්භ වියයුතු උත්සවයට මා ගියේ ආරම්භයට ඔන්න මෙන්න තිබියදීය. එබැවින් මාහට අසුන් ගැනීමට සිදුවූයේ, සිසුන් සදහා වෙන්කර තිබූ අසුන්වල පිටුපසට වන්නටය. මේ වනවිටත් ඇතැම් සිසුන් පැමිණෙමින් සිටියි. දෙමාපියන් හා සිසුන් ශාලාවට ඇතුල් කරවන්නේ වෙනවෙනම බැවින් දෙමාපියන් කොටසක් ශාලාවෙන් පිටත පෝලිමක සිටී. උත්සවය ආරම්භකිරීම සදහා නිවේදකයා සභාව ඇමතීම ආරම්භ කරනවාත් සමගම, ප්ලාස්ටික් පුටු පෙරලෙන හඩක් නැගුණි.එක් වරම පිටුපස හැරී බැලූ අපහට දක්නට ලැබුනේ ආරක්ෂක නිලධරුවන්ද පෙරලා ශාලාවට පිවිසෙන දෙමාපියන්ය. ඔවුන් ශාලාවට පැමිණ සිසුන් සදහා වෙන්කර තිබූ ආසනවලද (මා සිටි පෙළට පසුපස පෙළ) අසුන්ගත් අතර, ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔවුන්හට පැවසූවේ, “දැං තව ළමයි ආවොත් ඔයාලට ඔතනින් යන්න වෙනවා” යනුවෙනි. වැඩිවේලාවක් ගතවූවේ නැත. ගැහැණු ළමුන් පෝලිමක් පැමිණ ඔවුන් අසල සිට ගන්නාලදි.

අනතුරුව, සාමාන්‍යලෙස උත්සවය පැවති අතර, පෙ.ව. 10.40 පමණ වනවිට එය අවසානවිය. රසවත්ම සිදුවීම වූයේ මින් පසුවයි.උත්සවය අවසානයේදී, නිවේදකයා දැනුම් දුන්නේ, දෙමාපියන්ට ශාලාවෙන් ඉවත්වන ලෙසත්, දරුවන්ට තම ආසනවල රැදී සිටින ලෙසත්ය. නමුත්, දෙමාපියන් ශාලාවෙන් ඉවත්වන බවක් නොපෙනේ. ඇතැම් දෙමාපියන් දරුවන් සිටින ආසන වෙත යයි. ඇතැම් දරුවන් දෙමාපියන් සොයා යයි. ශාලාවම එකම මාළු කඩයකි. නැවතත් පොලිස් කාරයාගේ භූමිකාව සදහා ආරක්ෂක නිලධාරීන් අවතීර්ණවිය. ඔවුන්හට ශාලාව තුළ දරුවන්ගේ සක්මන නැවතීමට කටයුතු කරන අතරම, දෙමාපියන් ශාලාවෙන් ඉවත්කිරීමද සිදුකිරීමට විය. එක් පියෙකු දරුවන් සිටින පෙදෙසට යාමට යාමේදී, ආරක්ෂක නිලධරුවෙක් ඔහු නවතා “කොහෙද යන්නේ ?” යි විමසීය. පියා අතදිගුකර යමක් මිමිණීය. අවසන කෙසේ හෝ ආරක්ෂකයින්ගේ වෑයම සාර්ථක වූ අතර, ඉන් පසු සිදුවූ දෙය මාහට අදහාගතනොහීය. ශාලාවෙන් පිටත සිටින දෙමාපියන් ජනෙල් කවුළු තුලින් පොරකමින් ශාලාව දෙස බලමින් සිටී. මෙම සිදුවීම් මාලාව දුටු විට සැබැවින්ම මාහට සිහි වූයේ පෙර පාසැලකට දරුවන් භාරදෙන දිනක්. එම අවස්ථාවේදී ප්‍රසිද්ධියේ සිනහ වියනොහැකි වුවද, මා සිතින් බඩපැලෙන්න සිනාවිය. මෙය මා රචනයේදී එය කෙතරම් දුරට ඔබට සමීප කිරීමට හැකිවූයේ දැයි ඔබම තීරණය කරන්න.

දිගටම කියවන්න

ප්‍රතිචාර 16

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය