Category Archives: මම

මාසයක් ගෙදර

ChickenCartoon

කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් උණක් කියලයි. සති 2ක් උණ තිබුනා. ඡන්දෙට සතියක් නිවාඩු හම්බුනනිසා රෙස්ට් කරන්නත් පුළුවන් වුනා. අසනීපෙන් පස්සෙ හා හා පුරා කියල පසුගිය සතියේ සඳුදා කැම්පස් ගියා. වෙනද වගේ නෙමේ. කන්ද නැඟලා එනකොට හොඳ ගනන්. කකුල් දෙක පණ නැතිවෙනවා.

උදේම තිබ්බෙ මාගේ ප්‍රියතම විෂය – ඉලෙක්ට්‍රොනික්ස්. අහෝ !! මේ කිනම් විපර්යාසයක්ද ? මෙතෙක් මාහට හොඳින් වැටහුණු විෂය ! දැන් අසන්දිට්ඨිකයි. ඉන් පසුව තිබුනේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රායෝගික පන්තිය. ඒකනම් ටොප්. හැබැයි අවුලකට තිබ්බෙ පැය 3ක් හිටගෙන ඉන්න එකතමා. ප්‍රායෝගිකය කරන වේලාවේ මාහට එතරම් වැටහීමක් නොතිබුනද, දෙපා අමාරුව දැනෙන්න ගත්තේ ඉන් පසුවයි. හප්පා ! ඇවිදගන්නත් බෑ විසිවෙනව වගේ. ඔළුවත් කැරකෙනවා. එදා බෝඩිමට ගිහින් හොඳට නිදාගත්තා. හැබැයි ඉතින් හවස් වරුවෙ, පොත් ටිකක් අල්ලගෙන නොතේරුණු ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ගොඩදාගන්නත් ට්‍රයිකළා.

පහුවෙනිදා කැම්පස් යන්න හම්බුනේ නෑ. ඇඟට පණ නෑ. ඔළුව කැරකෙනවා. ( පෘථිවිය භ්‍රමණයවන බව නිරීක්ෂණාත්මකව සනාථ කරගැනීම ) බෝඩිමේ ඇන්ටිලා මට බනිනවා, මම vegetarian නිසා  ඇඟේ ශක්තිය මදි කියලා. {බෝඩිමේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා ( අක්කයි, නංගියි ). තව මේ දෙන්නගෙ සහෝදරියකගෙ පුතුන් දෙදෙනා ඉන්නවා(මට අයියලා)} ඔය එක අයිය කෙනෙකුටත් මට උණ තිබුණ කාලෙම ඩෙංගු හැඳුනා. එයත් හිටපු vegetarian කෙනෙක්. හැබැයි ලෙඩවුනයින් පස්සෙ ඇන්ටිලාගෙ බලපෑම මත, එයා ඕනදෙයක් කනවා. බදාදා තාත්තා ආව මාව ගෙදර එක්ක යන්න. දැන් ගෙදර ඇවිත් සතියක් වුනා. හිටියටවඩා දැන් තත්වෙ හොඳයි. ගෙදරිනුත් කියන්නෙ vegetarian පැත්තක දාන්න කියලා.

නමුත් මගෙ හෘදය සාක්ෂිය අනුව එය කළ නොහැකියි. මා දරන මතය අනුවනම් මාංශ පරිභෝජනය නොකරන විට, අහිංසක සතුන්ගේ ජීවිත නැතිකිරීමට අවශ්‍යතා අවමවේ. සසර කෙළවර වනතෙක් මා රැකීමට ඇරඹූ සීලයක්, මේ එක් ජීවිතයක පැවැත්ම උදෙසා බිඳ ගත යුතුද ? මා දන්නා ආකාරයට සීල  පරමත්ත පාරමිතාව යනු මෙයයි. මෙය දිගටම රක්ෂා කිරීම වීර්ය පාරමිතාවක්ද වනවා. ඔබට ගැටලුවක් පැන නඟින්න පුළුවන්, මීළඟ භවයන් වළදීත් මේ භවයේ රකිනා සීලයන් රැකිය හැකිදැයි; යනුවෙන්. සසර පුරුද්ද අනුව එය සිදුවිය හැකිබව මාගේ විශ්වාසයයි. අනෙක, කුසල් හා පින් සිදුකිරීමට සුදුසු පරිසරයක ඉපදීමටද පිනක් තිබිය යුතුවනවා.

ප්‍රතිචාර 9

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

ගෘහස්ථ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ?

අද දින උදෑසන ඡන්ද පත්‍රිකා භාරදීමට තැපැල් මහතා පැමිණීම, මා වසර ගණනක් පෙරුම් පිරූ අවස්ථාවක් විය. මන්ද, මේ එළඹෙනුයේ මා ඡන්දය භාවිතාකරන ප්‍රථම අවස්ථාවයි. කෙසේවුවද, මේ දිනවල ඇතිවී තිබෙන ඡන්ද උණුසුමත් සමඟ අපේ නිවස එකම ගාලගෝට්ටියකි. පියා පාරම්පරික UNP කාරයෙකි. මව පාරම්පරික ශ්‍රී ලංකා කාරියකි. ඇයගේ පියාගේ අභාවයත් සමඟ ඕ මගේ පියාගේ පක්ෂයට ගියාය. පියාගේ මව නිවසේ සිටියද, ඇයට සිහිකල්පනාවක් නැත. මල්ලිට ඡන්දය දැමීමට වයස මදි වුවද, මා එය සපුරා ඇත. එබැවින් අපේ ගෙදර ඡන්ද ත්‍රිත්වයක් ඇත.

මා ඡන්දය ප්‍රකාශ කරන්නේ බුද්ධිමත්ව සිතා බලාය. ඒ අනුව මගේ ටිකිරි මොළේට වැටහෙන ආකාරයටනම්, මෙවර මා ඡන්දය ප්‍රකාශ කළයුතු වන්නේ රටේ ඒකීය භාවය සුරකින නායකයෙකු හටයි.

නමුත් මවගෙන් මේවනවිට දැඩි පීඩනයක් මාවෙත යොමුවෙමින් පවතියි. ඔවුනට අවශ්‍යය වනුයේ මගේ ඡන්දය මා ලවාම හොර ඡන්දයක් කිරීමයි. මෙම සතිය අසනීප තත්වයක් නිසා විශ්වවිද්‍යාලයට නොගිය මාහට පුරා සතියම මෙම කංකරච්චලයට මුහුණදීමට සිදුවිය. කුමන බලපෑම් පැමිණියද මාගේ ඡන්දයට කාටවත් බලපෑම් කළ නොහැක. එය මාගේ අයිතියකි. උප්පැන්න සහතිකයෙහි හෝ විවාහ සහතිකයෙහි තමන් ඡන්දයදෙන පක්ෂයක් දමා නොමැති බැවින් ඔබද එය ඔබට රිසිසේ, ඔබගේ ප්‍රතිපත්ති වලට වඩාත් ගැලපෙන අපේක්ෂකයා වෙනුවෙන් භාවිතා කරන්න.

ප්‍රතිචාර 14

Filed under දේශපාලන, මට වෙච්ච වැඩ, මම

පොල් පොට්

හිට්ලර්ලා, ඉඩි අමීන්ලා, පොල් පොට්ලා ගැන කියවෙන මේ යුගයේදී, මීට සයවසරකට පමණපෙර මා ලැබූ අත්දැකීමක් පැවසීමට අදහස් කලෙමි. එකළ මාගේ මලනුවන් සත්වන ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබමින් සිටියේය. මා ඔහුට තෙවසරක් වැඩිමහළුය. එකළ ඔහුගේ තිබූ විවිධ චරිත ලක්ෂණ අනුව මා ඔහුට විවිධ නම් පැවසීය. ඒවාට ගැලපෙන අයුරින් ඔහු මටද විවිධ නම් පැවසීය. දිනක් අප අතර මෙවන් සංවාදයක් ඇතිවිය;

මම   :- පොල් පොට්
මල්ලි:- ඩෙසිකට්

කදිම කරුණ වනුයේ, ඒවන විට මා ඩෙසිකට් යනු කුමක්දැයි නොදැන සිටීමයි.

ප්‍රතිචාර 4

Filed under ජාත්‍යන්තර, දේශපාලන, මට වෙච්ච වැඩ, මම, රසවත්

අතට ගත් පසු කටට දා ගැනීම

DSC00444

2008 වසරේදී මා උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමවර පෙනී සිටි අතර, මැවිසුරු පීඨයට (Engineering Faculty) සුදුසුකම් ලැබීමට මම සුදුසුකම් නොලැබීමි. පවුලේ ඥාතීහු හා ගුරුවරු මා දෙවනවර ද උසස් පෙළට පෙනීසිටී යයි සිතුවද, මාහට මගේම වූ අරමුණක් විය. මාගේ අරමුණ වූයේ භෞතීය විද්‍යා පාථමාලාව හැදෑරීමයි.

කැලණිය සරසවියට මා ඇතුල්වූ දිනය පිළිබදව මම ලිවූ ලිපිය ඔබලාට මතක ඇතැයි සිතමි. මෙලෙස කැලණිය සරසවියට මා පැමිණියද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මා තෝරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාවටය. ජ’පුර මා සති 3ක් ( හැඩගැස්වීමේ වැඩසටහන සති 2ක් හා දේශන සතියක් ) රැදී සිටි අතර, එය ඉතාමත් මිහිරි සමයක් විය. නව මිතුරන් රැසක් සමග ඉන්දරේ අයියාවද එහිදී මට මුණ ගැසීමට හැකිවිය. facebookවලට පිං සිදුවීමට ඔවුන් සමග තවමත් සබදතා පැවැත්වීමට මාහට හැකිවී තිබේ. ජ’පුර විද්‍යා පීඨයේදීද මාගේ අරමුණකරා ලඟා වියහැකිව තිබුණද, මම දකින අන්දමට කැලණියේදී වඩා පුළුල්ලෙස මාගේ ප්‍රියතම විෂයන් හැදෑරීමේ හැකියාවක් ඇත. එබැවින් මම අභියාචනයක් මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පාඨමාලාව ලබාගතිමි.

කැලණියේ සති 4ක් වූ හැඩගැස්වීමේ පාඨමාලාවේ, අවසාන සති 3 වෙන්කර තිබූයේ සිංහල, ඉංග්‍රීසි හා ආචාර ධර්ම යන විෂයන් ඉගෙන ගැනීමටයි. මෙහිදී, අප බොහෝ තෘප්තියක් ලැබූයේ ඉංග්‍රීසි හැදෑරීමේදීය. එහි තිබූ විවිධ ක්‍රියාකාරකම් මගින් අප තුළ සැගව තිබූ දක්ෂතා හදුනාගැනීම, නිර්මාණශීලීත්වය වර්ධනයකර ගැනීමටද අපට අවස්ථාවන් පෑදින. නවක විද්‍යාර්ථයින් සදහා සිංහල හා ආචාර ධර්ම ඉගැන්වීම පිළිබදව සිංහලයෙකුලෙස මා කැමතිවුවද, විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස බැලීමේදී එහි යම්යම් අඩුපාඩු දැකියහැකිවේ.

මෙහිදී තවමත් මාගේ සිතේ වේදනාදෙන සිදුවීමක් ඔබ හමුවේ පැවසීම යුක්ති යුක්ත යැයි සිතමි. ඉංග්‍රීසි විෂයෙහි අපට ලැබුණු එක් ක්‍රියාකරකමක් වූයේ ලෝකයේ මානව හිමිකම් කඩවන අවස්ථාවක් පිළිබදව එක් එක් කණ්ඩායම් දැන්වීමක් සෑදීමටයි. මෙහිදී මා තෝරාගනු ලැබූයේ ඉරාකයේ ඇමරිකන් හමුදාවන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීමයි. මෙහිදී “මා තෝරාගනු ලැබූවේ” යනුවෙන් පැවසීමේදී ඔබ තුළ විමතියක් ඇතිවූයේනම් ඒ පිළිබදව මම පුදුම නොවෙමි. මන්ද, මෙය කණ්ඩායම් ක්‍රියාකාරකමකි.නමුත්, අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සිටියේ මා ඇතුළුව පිරිමි ළමුන් දෙදෙනෙකු පමණි. අප දෙදෙනා තීරණයක් ගැනීම, කණ්ඩායම තීරණයක් ගැනීම හා සමානවිය. මන්ද, ගැහැණු ළමෝ ප්‍රවෘත්ති නොබලති, නොඅසති. රටේ තොටේ සිදුවන කිසිවක් ඔවූහු නොදනිති. කෙසේහෝ මේ ක්‍රියාකාරකම සදහා අපට හිමිවූයේ එක් දිනක් පමණක් බැවින් එදින දිවා අහරද අමතක කොට මා හා අනෙක් මිතුරා Internet Cafe 1ක් වෙත බඩගෑවේය. අප දෙදෙනා අපට අවශ්‍ය තොරතුරු ඉතිරිකරගෙන අන්සියල්ල අපි ඔවුන් වෙත ලබා දුන්නෙමු. අප සතුවූ තොරතුරු පිළිවෙළකට සකස් කොට, මා එක් වාක්‍යයක් පැවසූපසු, අනෙක් වාක්‍යය මිතුරාද කියන ආකාරයට පිළිවෙලකට සැකසීමි. පිංතූරද පිළිවෙලකට සැකසීමි. තේමා වාදන සංගීත ඛණ්ඩයක්ද සොයාගතිමි. මට අවශ්‍යයවනුයේ එතෙක් මෙතෙක් බිහිවූ හොදමදේවල් කිරීමටයි. පසුදින සරසවියට ගොස් බැලීමේදී, දක්නට වූයේ අපදුන් මුද්‍රිත පිටපත් (Print Out), අපගේ සාමාජිකාවන් අත තවමත් එලෙසම තිබෙන අයුරුය. ඇතමුන් වාක්‍යය සාදමින් සිටී. ඇතමුන් මුද්‍රිත පිටපත් අත තබාගෙන මාසයෙන් මාසයේ වසර හයක මියගිය ගණන් කියවීය. මම මොවුන්ට එසේ නොකරනමෙන් සිංහලෙන් ඉල්ලා සිටියද ඵලක්වූයේ නැත. අවසානයේදී මිනිත්තු 5 -10 අතර වියයුතු දැන්වීම, මිනිත්තු 20කට කිට්ටු විය. ඔවුන් ලබාදුන් එකම නිර්මාණශීලී අදහස වූයේ, අවසානයේ මයිකල් ජැක්සන්ගේ Heal the World ගීතය ගැයීමයි. මේ වර්තමාන ගැහැණු ළමයින්ගේ බුද්ධිය හා නිර්මාණශීලීත්වයයි.

සිංහල විෂයේදී අප ලත් අත්දැකීම් පිළිබදව පැවසීමේදී මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාරයන් අමතක කළ නොහැක. එතුමාගේ තර්කානුකූල කරුණු දැන්වීම, සිංහල විෂයය අතිරේක විෂයක් ලෙස හැදෑරීමට මා තුළ තිබූ ආශාව වැඩිකිරීමට සමත්විය. තවද, එක් මහාචාර්ය වරයෙක් සාහිත්‍යය විචාරයක් කිරීමේදී, ඔහුට යම් කරුණක් පැවසීම මගහැරුණි. මද වේලාවකින් ඔහුටම එය වැටහී ” මට අරක අමතක වුනා ” යනුවෙන් පැවසීය. මහාචාර්යතුමාට අමතක වූ බව අපට අමතකය. ඒ තරමට අපි අවධානයෙන් සිටියෙමු.

කෙසේ වුවද, දැන් හැඩගැස්වීම් කාලය අවසානයි. ලබන සදුදා සිට දේශන ආරම්භවේ. පළමු දේශනය ලෙස ඇත්තේ, 10 ශ්‍රේණියේ සිට මා පෙම්කළ විෂය වූ ඉලෙක්ට්‍රොනික්ස් ය. පළමු සමාසිකය තමා කැමති විෂය පථයකින් හැදෑරිය හැක. අනතුරුව පළමු සමාසිකය අවසාන විභාගයේ ලකුණුමත අප සුදුසුකම් ලබන විෂයයන් තීරණයවේ. එබැවින් මම දැන් මට අවශ්‍යය වූ දෙය අතට ගෙන ඇත, ඇත්තේ කටට දා ගැනීමයි.

ප්‍රතිචාර 6

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය