ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?

පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි  යන සිනමාහල් වල තිරගතකරන Guzaarish

චිත්‍රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?

ප.ලි. – මේක මට පෙන්නුවෙ අපේ මල්ලී  😛

ප්‍රතිචාර 17

Filed under ජාත්‍යන්තර

අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ

කථානායකවරයාට බිත්තර ප්‍රහාරයක්

යුක්‍රේන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පසුගියදා සිදුවිය. යුක්‍රේනය පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රටකි. නමුත්, සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව, එයට අයත්ව පැවති බොහෝ රටවල මෙන් මෙහිද, රුසියාවට පක්ෂපාතී පක්ෂ හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාතී පක්ෂ ලෙස පක්ෂ දෙකොට්ඨාසයක් බිහිවිය. මේ වනවිට යුක්‍රේනයේ පාලනය හිමිව ඇත්තේ රුසියානු පාක්ෂික කණ්ඩායමක් වෙතයි. මෙම ගැටුමට මූලික හේතුව වී ඇත්තේ යුක්‍රේනය තුළ පවතින රුසියානු නාවික මූලස්ථානයක් තවදුරටත් පවත්වාගෙනයාමට ආණ්ඩු පක්ෂය ගත් තීරණයයි. මෙම තීරණයට විරුද්ධවූ විපක්ෂය ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට හා කථානායකවරයාට පහරදීමටත්, දුම් බෝම්බ එල්ලකිරීමටත් කටයුතු කරඇත. මේ පිළිබඳව අපට පවසීමට ඇත්තේ, යුක්‍රේන වැසියා බෙහෙවින් වාසනාවන්තය. මන්ද, අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ මේ සේරම කරන්නේ.

ප්‍රතිචාර 6

Filed under ජාත්‍යන්තර, දේශපාලන, රසවත්

මාසයක් ගෙදර

ChickenCartoon

කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් උණක් කියලයි. සති 2ක් උණ තිබුනා. ඡන්දෙට සතියක් නිවාඩු හම්බුනනිසා රෙස්ට් කරන්නත් පුළුවන් වුනා. අසනීපෙන් පස්සෙ හා හා පුරා කියල පසුගිය සතියේ සඳුදා කැම්පස් ගියා. වෙනද වගේ නෙමේ. කන්ද නැඟලා එනකොට හොඳ ගනන්. කකුල් දෙක පණ නැතිවෙනවා.

උදේම තිබ්බෙ මාගේ ප්‍රියතම විෂය – ඉලෙක්ට්‍රොනික්ස්. අහෝ !! මේ කිනම් විපර්යාසයක්ද ? මෙතෙක් මාහට හොඳින් වැටහුණු විෂය ! දැන් අසන්දිට්ඨිකයි. ඉන් පසුව තිබුනේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රායෝගික පන්තිය. ඒකනම් ටොප්. හැබැයි අවුලකට තිබ්බෙ පැය 3ක් හිටගෙන ඉන්න එකතමා. ප්‍රායෝගිකය කරන වේලාවේ මාහට එතරම් වැටහීමක් නොතිබුනද, දෙපා අමාරුව දැනෙන්න ගත්තේ ඉන් පසුවයි. හප්පා ! ඇවිදගන්නත් බෑ විසිවෙනව වගේ. ඔළුවත් කැරකෙනවා. එදා බෝඩිමට ගිහින් හොඳට නිදාගත්තා. හැබැයි ඉතින් හවස් වරුවෙ, පොත් ටිකක් අල්ලගෙන නොතේරුණු ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ගොඩදාගන්නත් ට්‍රයිකළා.

පහුවෙනිදා කැම්පස් යන්න හම්බුනේ නෑ. ඇඟට පණ නෑ. ඔළුව කැරකෙනවා. ( පෘථිවිය භ්‍රමණයවන බව නිරීක්ෂණාත්මකව සනාථ කරගැනීම ) බෝඩිමේ ඇන්ටිලා මට බනිනවා, මම vegetarian නිසා  ඇඟේ ශක්තිය මදි කියලා. {බෝඩිමේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා ( අක්කයි, නංගියි ). තව මේ දෙන්නගෙ සහෝදරියකගෙ පුතුන් දෙදෙනා ඉන්නවා(මට අයියලා)} ඔය එක අයිය කෙනෙකුටත් මට උණ තිබුණ කාලෙම ඩෙංගු හැඳුනා. එයත් හිටපු vegetarian කෙනෙක්. හැබැයි ලෙඩවුනයින් පස්සෙ ඇන්ටිලාගෙ බලපෑම මත, එයා ඕනදෙයක් කනවා. බදාදා තාත්තා ආව මාව ගෙදර එක්ක යන්න. දැන් ගෙදර ඇවිත් සතියක් වුනා. හිටියටවඩා දැන් තත්වෙ හොඳයි. ගෙදරිනුත් කියන්නෙ vegetarian පැත්තක දාන්න කියලා.

නමුත් මගෙ හෘදය සාක්ෂිය අනුව එය කළ නොහැකියි. මා දරන මතය අනුවනම් මාංශ පරිභෝජනය නොකරන විට, අහිංසක සතුන්ගේ ජීවිත නැතිකිරීමට අවශ්‍යතා අවමවේ. සසර කෙළවර වනතෙක් මා රැකීමට ඇරඹූ සීලයක්, මේ එක් ජීවිතයක පැවැත්ම උදෙසා බිඳ ගත යුතුද ? මා දන්නා ආකාරයට සීල  පරමත්ත පාරමිතාව යනු මෙයයි. මෙය දිගටම රක්ෂා කිරීම වීර්ය පාරමිතාවක්ද වනවා. ඔබට ගැටලුවක් පැන නඟින්න පුළුවන්, මීළඟ භවයන් වළදීත් මේ භවයේ රකිනා සීලයන් රැකිය හැකිදැයි; යනුවෙන්. සසර පුරුද්ද අනුව එය සිදුවිය හැකිබව මාගේ විශ්වාසයයි. අනෙක, කුසල් හා පින් සිදුකිරීමට සුදුසු පරිසරයක ඉපදීමටද පිනක් තිබිය යුතුවනවා.

ප්‍රතිචාර 9

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

ගෘහස්ථ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ?

අද දින උදෑසන ඡන්ද පත්‍රිකා භාරදීමට තැපැල් මහතා පැමිණීම, මා වසර ගණනක් පෙරුම් පිරූ අවස්ථාවක් විය. මන්ද, මේ එළඹෙනුයේ මා ඡන්දය භාවිතාකරන ප්‍රථම අවස්ථාවයි. කෙසේවුවද, මේ දිනවල ඇතිවී තිබෙන ඡන්ද උණුසුමත් සමඟ අපේ නිවස එකම ගාලගෝට්ටියකි. පියා පාරම්පරික UNP කාරයෙකි. මව පාරම්පරික ශ්‍රී ලංකා කාරියකි. ඇයගේ පියාගේ අභාවයත් සමඟ ඕ මගේ පියාගේ පක්ෂයට ගියාය. පියාගේ මව නිවසේ සිටියද, ඇයට සිහිකල්පනාවක් නැත. මල්ලිට ඡන්දය දැමීමට වයස මදි වුවද, මා එය සපුරා ඇත. එබැවින් අපේ ගෙදර ඡන්ද ත්‍රිත්වයක් ඇත.

මා ඡන්දය ප්‍රකාශ කරන්නේ බුද්ධිමත්ව සිතා බලාය. ඒ අනුව මගේ ටිකිරි මොළේට වැටහෙන ආකාරයටනම්, මෙවර මා ඡන්දය ප්‍රකාශ කළයුතු වන්නේ රටේ ඒකීය භාවය සුරකින නායකයෙකු හටයි.

නමුත් මවගෙන් මේවනවිට දැඩි පීඩනයක් මාවෙත යොමුවෙමින් පවතියි. ඔවුනට අවශ්‍යය වනුයේ මගේ ඡන්දය මා ලවාම හොර ඡන්දයක් කිරීමයි. මෙම සතිය අසනීප තත්වයක් නිසා විශ්වවිද්‍යාලයට නොගිය මාහට පුරා සතියම මෙම කංකරච්චලයට මුහුණදීමට සිදුවිය. කුමන බලපෑම් පැමිණියද මාගේ ඡන්දයට කාටවත් බලපෑම් කළ නොහැක. එය මාගේ අයිතියකි. උප්පැන්න සහතිකයෙහි හෝ විවාහ සහතිකයෙහි තමන් ඡන්දයදෙන පක්ෂයක් දමා නොමැති බැවින් ඔබද එය ඔබට රිසිසේ, ඔබගේ ප්‍රතිපත්ති වලට වඩාත් ගැලපෙන අපේක්ෂකයා වෙනුවෙන් භාවිතා කරන්න.

ප්‍රතිචාර 14

Filed under දේශපාලන, මට වෙච්ච වැඩ, මම

පොල් පොට්

හිට්ලර්ලා, ඉඩි අමීන්ලා, පොල් පොට්ලා ගැන කියවෙන මේ යුගයේදී, මීට සයවසරකට පමණපෙර මා ලැබූ අත්දැකීමක් පැවසීමට අදහස් කලෙමි. එකළ මාගේ මලනුවන් සත්වන ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබමින් සිටියේය. මා ඔහුට තෙවසරක් වැඩිමහළුය. එකළ ඔහුගේ තිබූ විවිධ චරිත ලක්ෂණ අනුව මා ඔහුට විවිධ නම් පැවසීය. ඒවාට ගැලපෙන අයුරින් ඔහු මටද විවිධ නම් පැවසීය. දිනක් අප අතර මෙවන් සංවාදයක් ඇතිවිය;

මම   :- පොල් පොට්
මල්ලි:- ඩෙසිකට්

කදිම කරුණ වනුයේ, ඒවන විට මා ඩෙසිකට් යනු කුමක්දැයි නොදැන සිටීමයි.

ප්‍රතිචාර 4

Filed under ජාත්‍යන්තර, දේශපාලන, මට වෙච්ච වැඩ, මම, රසවත්

ඌරන් කැකුණ තලනවිට හඹන් කුකුළන්ට ජය මඟුල්

පසුගිය සතියේදී ඇමරිකාවේ Illinois නීති විද්‍යාලයේ මහාචාර්යවරයකුවන (අපට අනුව පඬියකුවන) ෆ්‍රැන්සිස් ඒ. බොයිලි ශ්‍රී ලංකාව සම්බන්ධ වැදගත් පොතක් එළිදැක්වීය. මුලු රටම ජනාධිපතිවරන උනුසුමෙන් ඇළලීයමින් පවතින මෙවන් සමයක ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ නැවතත් ඇරඹී ඇති අයුරක් අපට පෙනීයයි. නොවැම්බර් 29දා එළිදැක්වූ ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරය නම් බොයිලිගේ පොතින් විඳහා දක්වනුයේ විදේශයක ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟීමේ වැදගත්කමයි. ටැමිල් නෙට් අඩවියට අනුව මෙවැනි කටයුතු සම්බන්ධයෙන් මොහුහට ඉතිහාසයක් පවතී. 1993 දී Bosnia හා Herzegovina සම්බන්ධ ගැටලුව වැනි කරුණු ජාත්‍යන්තර අධිකරනය වෙත රැගෙන යාමට මොහු සමත්වී ඇත.

මේ අතර, 2011 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනාවී තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව මෙරට පැවැත්වීමට බිරිතානි අග්‍රාමාත්‍යා ගෝර්ඩ්න් බ්‍රවුන් හා කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීපන් හාපර් විරෝධය පළකර තිබේ. ඒ අනුව 2011 දී එය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනු ඇත. අප රටට එරෙහිව මෙවන් කුමන්ත්‍රණ සිදුවන මෙවන් මොහොතක, අපි ජධිපතිවරණයක සිරවී සිටිමු. බෙදුම් වාදය යුධමය වශයෙන් පරාජයට සහය දැක්වූ යුධ වීරයන්

” LTTE යට උදව් කරපු කණ්ඩායම්වලටත් මගේ ප්‍රතිපත්ති කිව්වා. ඒ අයටත් මට සහය දිය හැකියි. ප්‍රභාකරන්ගේ මවුපියන් වුණත් මට සහය දක්වනවා නම් මා කැමතියි. ”

වැනි ප්‍රකාශ කිරීම, දකුණතින් ලැබූ ජයග්‍රහනය වමතින් විසිකිරීමට සැරසීමක් වැනියැ.

මගෙ පසුගිය ලිපිය 2009 Version : තයෝධම්ම ජාතකය මෙතනින් බලන්න

ප්‍රතිචාර 15

Filed under ජාත්‍යන්තර, දේශපාලන

2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි.

පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස්ථානයේදී එක් සුවිශේෂී පැමිණිල්ලක් සටහන්විය. එනම්, “ජුමුරි” නම් වැඳිරියක විසින් තම ස්වාමි වඳුරාවන “රාජා” ට විරුද්ධවයි. පැමිණිල්ලට හේතුව වනුයේ ඔවුන්ගේ දරුවාවන “කුනා” නමැති තෙමස් වියැති වඳුරු පැටවාව ඝාතනයට රාජා විසින් කිහිපවිටකම උත්සාහ දැරීමයි. කුනා යනු ඔවුන්ගේ දෙවන දරුවායි. මීට පෙර පළමු දරුවාව රාජා විසින් මරා දමා තිබේ. එබැවින්, කුනාගේ ආරක්ෂාව වෙනුවෙන් ජුමුරි, ගම්මුන්ගේද සහය ඇතිව පොලිස් ආරක්ෂාව පැතීය. අස්තරන්හි පොලිස් පරීක්ෂක සතින්ද්‍ර කුමාර් දාස් මහතා ප්‍රරකාශ කරන අන්දමට, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 363, 366, 507 හා 511 යන වගන්ති යටතේ මෙම පැමිණිල්ල සටහන්කරගෙන තිබේ.

මෙම පුවත දුටුවනම මාගේ මතකයට පැමිණියේ මීට සමාන ජාතක කාථාවක් ඇති බවයි. නමුත්, එහි නම මාගේ මතකයේ නොතිබූ අතර, මා සන්තකයේ ඇති සංෂිප්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළා බලා මහත් පරිශ්‍රමයකින් අනතුරුව එය සොයාගන්නා ලදි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස එය මෙහි පළකරමි.

එක් සමයක බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී දෙව්දත් තෙරුන්ගේ වධ කිරීමේ උත්සාහයක් නිසා මේ ධර්මය වදාළ සේක.

අතීතයෙහි බරණැස බඹදත් නිරිඳුගේ කාලයෙහි දෙව්දත් තෙර වඳුරු ජාතියෙහි ඉපිද හිමාලය පෙදෙසෙහි වඳුරු සමූහයා පාලනය කරමින් තමන්ට දාව උපන් පැටවුන් “මොහු වැඩී වානර සමූහය පාලනය කරතී” බියෙන් දතින් සපා ඔවුන්ගේ බීජ උපුටා දමයි. එකල බෝධිසත්ත්වයෝ ද ඔහුට දාව වැඳිරි කුසක පිළිසිඳ ගත්හ. වැඳිරිය අන් කඳු පෙදෙසකට ගොස් දරුගැබ රැකගෙන බෝසතුන් ප්‍රසූත කළාය.බෝධිසත්ත්වයෝ වැඩී ජවබල ඇතිව මවගෙන් සිය පියාණන් ගැන විමසා ඔහු වෙත ගෙන යන ලෙස කීහ. වැඳිරිය සියලු තතු හෙළි කළද බෝසතුන්ගේ ඉල්ලීම පරිදි එහි ගෙන ගියාය. වඳුරු රජ පුතු දැකීමත් සමඟම දැන්ම මොහු තුරන් කළයුතුයයි සිතා ආදර බස් කියා පුතු වැළඳ ගන්නා ලෙස පෙන්වා තරයේ මිරිකාලීය. ඇත්බල ඇති බෝධිසත්ත්වයෝ ද එසේම තරයේ මිරිකා ලුහ. එවිට වඳුරු රජුට මැරෙන තරමේ වේදනාවක් දැනිණ. කවර උපායකින් හෝ පැටවා මරාදැමිය යුතුයයි සිතූ ඔහු “දරුව, මම දැන් මහලු වෙමි. තොපට අදම රාජ්‍යය පාවා දෙමි. වහා ගොස් අසවල් විලෙන් ඇඹුල, උපුල, නෙළුම්මල් ගෙනව” යි රාක්ෂසාධිගෘහිත විලකට පාර දැක්වීය. ඒ රාක්ෂසයා විලට බසින සියලු සතුන් කා දමයි.

බෝධිසත්ත්වයෝ එහි ගොස් එය රාක්ෂසාධිගෘහිත විලකැයි දැන උපායෙන් මල් කඩාගෙන යෙමී වේගයෙන් අහසට පැන උඩ නැඟී මල් කඩාගෙනම එතෙරට පනිති. ඒ ක්‍රමයෙන්ම මෙතෙරටත් පනිති. මෙසේ රාක්ෂසයාගේ අණසක ඇති දියටත් නොබැස මලුත් කඩන බෝසතුන් දැක පුදුමයට පත්ව දිය දෙබේ කොට මතුවී වඳුරාණෙනි මෙසේ පැමිණි බිය දුරු කිරීමේ ප්‍රඥාවෙන් යුත් වීර්යය, නිර්භීතකම, උපායඥානය යන තුන් ධර්මය යමෙකුට ඇත්නම් ඔහු සතුරන් ජයගන්නේයයි බෝසතුන්ට ප්‍රශංසා කළේය. ඉක්බිති මේ මල් කුමටදැයි විමසා සියතින්ම ඔසවා ගෙන බෝසතුන් පසු පස ගියේය. දුරදීම එන බෝසතුන් දුටු වඳුරු රජ රකුසන් කතී සිතා මම මොහු යැවීමි. දැන් රකුසා ලවාම මල් ගෙන්වා ගෙන එයි. විනාශකැයි ළය පැළී මළේය. වඳුරෝ එක්ව බෝසතුන් රජ කළාහුය.

මෙසේ මේ පුවත වදාළ සර්වඥයන් වහන්සේ එකල වඳුරුනායක දේවදත්ත ස්ථවිරයෝය. පුත්‍රයා නම් භාග්‍යවතුන් වහන්සේමයයි වදාළ සේක.

ප්‍රතිචාර 2

Filed under ජාත්‍යන්තර, රසවත්, සංවේදී